සැබෑ තරු කඩා නොවැටේ - Hemamali interviewed Saman Lenin Featured

Wednesday, 15 October 2014 00:00 Written by  Published in Interviews and Discussions

හේමමාලි සමග අද කථා බහ - සමන් ලෙනින් 

2007 වසරේ “රජත රශ්මි”   රූපවාහිනී  ගීත තරගාවලියේ ගායනා අංශය “ රිදී නද” බිහිකළ රිදී හඬ සමන් ලෙනින් නම් සහෘද ගායකයා  මෙලබර්න් නගරයේදි තම මංගල ගී ප්‍රසංගයෙන්  ඔබ හමුවට එන වගයි.   ගායනය, රංගනය, වාදනය  ඇතුළු නොයෙකුත් කලා කුශලතා රැසකට සරස්වතී වරම් ලැබූ  ඔහු මෙල්බර්න් නගරයට පැමිණීම අපගේ භාග්‍යක්  කොට සලකමු.  

හේමමාලි:  

මුලින්ම අප ඔබ හඳුනාගන්නේ ජන ගී ගායකයෙකු ලෙසයි.   ඉන්පසු ඔබ  චිත්‍රපටි පසුබිම් ගායනයෙන්,  ටෙලි නාට්‍ය තේමා ගීත ගායනයෙන්, රංගනයෙන් සහ නොයෙකුත් නිර්මාණශීලි කටයුතු වලින් කලා ලොවට පා තබා අවසන්.  මුලින්ම මම කැමතියි අහන්න ඔබගේ සංගීත දිවියේ ඇරඹුම? 

සමන් ලෙනින්:  

මට ටිකක් දිග උත්තරයක් තමයි දෙන්න වෙන්නෙ.  මම සංගීතයට අත්-පොත් තියන්නේ ගෙදරින්.   අපේ ගෙදර කලාකාමි පරිසරයක් තිබුණෙ . අපේ තාත්තා (කොට්ටව සිරිසේන) මානවිල උපනන්ද විදුහලේ  චිත්‍ර ගුරුවරයෙකු හැටියට කලක් සේවය කළා.  ඒ වගේම ඔහු හොඳ හිටිවන කවියෙක්.  මගෙ බාල වියේ සිටම අහන්න ලැබුණෙ අපේ තාත්තා සමග රුහුණේ කවියො එකතු වී කියන හිටිවන කවි. හිටිවන කවි වලටම අති ප්‍රසිද්ධ  අපරැක්කෙ කිවිඳු,   කුමාරදාස කිවිඳු, ගාල්ලෙ බර්ලින් කිවිඳු, අපේ ගෙදර ඇවිත්  මේ අය කවි කියනකොට මම විමතියෙන් බලාගෙන හිටපු හැටි  දැනුත් සිහි වෙනවා.  පුංචි කාලෙ ඉඳලම පාසල් කාලෙ අවසන් වනතුරුම  නිවාඩු වෙලාවට අපේ ගෙදර සහෝදරයෝ හතර දෙනා  සහ තවත් යාලුවො එකතු වෙලා කළේ සර්පිනාවත් බෙරයකුත් අරගෙන කවි සිංදු කියපු එක. 

පාසලේ නව වෙනි ශ්‍රේණිය  දක්වා මම හැදෑරුවේ චිත්‍ර නමුත් මගේ තුන්වැනි  අයියා කිව්වා සංගීතය කරන්න, ඔයාට  ඒකට හැකියාවක් තියෙනවා කියලා. එතැන් පටන් මම සංගීතය හැදෑරුවා.  පාසලේදි මගේ සංගීත ගුරුතුමා වුණේ ප්‍රසන්න ලංකානාථ.  ඒ වගේම අපේ ගම් පලාතේ නිතරම පහත රට  ශාන්තිකර්ම, පෙරහර  වගේ දේවල් පැවත්වුණා.   අපි ඒවා නොවරදවාම බලන්න  ගියා.  ඒ දේවල් වල රසය මගේ හිතට තදින්ම කාවැදුනා ඉතිං මගේ හිත ගියේ මුලින්ම පහත රට නාද මාලාවන් වලටයි.  එතැන් සිට අපේ රටේ ජන සංගීතයට මගේ හිත නිරායාශයෙන්ම ඇදී ගියා.  අද වෙනකොට කලා ක්ෂේත්‍රෙය් විවිධ ඉසව් නියෝජනය කරන්න මගේ කටහඬ යොදා ගන්නවා. ඒක මගෙ ලොකු  වාසනාවක් කියලයි මම හිතන්නෙ.  

මට මතක් වෙනවා මම ක්‍රීඩාවෙන්  ඉදිරියට ගිහින් ඉන්න අවස්ථාවක  අපේ අම්මගෙ බල කිරීම මත ගාල්ලෙ “ඉගෙනුම උපකාරක පංතියට යන්න පටන් ගත්ත හැටි.  එහි විදුහල්පති තිස්ස ද සිල්වා මහතාගේ ගුරු හරුකම්  මැද උසස් පෙළ සමත් වෙලා කොළඹ සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයට  ප්‍රවිෂ්ඨ වෙනවා.  එහි අවුරුදු 3ක්   රාගධාරී සංගීතය  හදාරමින් ඉන්න අවස්ථාවේ   අලුත් විෂයක් ලෙස මානව වංශ සංගීත විද්‍යාව කියන විෂය මුල්ම වතාවට හදුන්වා දෙනවා .එම විෂය හැදෑරීමට ඇතිවූ ආශාව මුදුන්පත් කර ගැනීමට සහයෝගය  ලබා දුන්නේ මගේ විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුර දරණ මහාචාර්ය  ජයසේන කෝට්ටෙගොඩ මහතායි.  ඒ අනුව  මානව වංශ සංගීත විද්‍යා අංශයේ ශිෂ්‍යෙයක් හැටියට නැවත අධ්‍යාපනය ආරම්භ කළා.  අවුරුදු හයක් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සංගීතයඒ අනුව මම හැදෑරුවා.

 ඒ  වන විට  මගේ  අයිය උදය කුමාර කොට්ටව  ඔහුගේ නායකත්වයෙන් භාවනා කියන සංගීත කණ්ඩායම ආරම්භ කරලයි තිබුණෙ.    සංචාරක පුරයක් වුණ මගේ ගම්පළාත වන  උණවටුන ප්‍රදේශයේ මේ සංගීත කණ්ඩායම ජනප්‍රියත්වයට පත් වුණා.  ඒ කණ්ඩයාමේ ගායකයෙක් හැටියට  මම කටයුතු කළා.  ඒකෙදි  බොහෝවිට රාගධාරී සංගීතයෙන් ජන සංගීතයෙන් මෙම ගායනා ඉදිරිපත් වුණා.  .  මේ කණ්ඩායම සමග මට යන්න ලැබුණා ඔස්ට්‍රියා, තායිලන්තය, ඉන්දියාව,ඩුබායි සහ මාලදිවයින යන රටවල් වලට. 

හේමමාලි:

ඔබ සදහන් කළ මානව වංශ සංගීත විද්‍යා අධ්‍යාපන අංශයේ විෂයන් පිළිබද විශේෂත්වය

සමන් ලෙනින්: 

කෙටියෙන්ම  කිව්වොත්  එක් එක් ජන වර්ගයාගේ සංගීතය(කලාව) හැදෑරීම.  ඒ යම් ජන සම්ප්‍රදායක ගැමි සංගීතය පර්යේෂණ කරමින් හැදෑරීමයි.   

හේමමාලි:    ඔබේ පළමු ගීතය 

සමන් ලෙනින්: 

ඒක මාත්‍රා කණ්ඩායමෙන් බිහිවුණු කණ්ඩායම් ගීතයක් , උඩුමාලේ මල් වැහි වැහලා“ කියන ගීතය 

හේමමාලි: 

 ඔබ සමන් පනාපිටිය මහතාගේ මාත්‍රා කණ්ඩායමට සම්බන්ධ වෙනවා.  ඒසම්බන්ධය ගැන කිව්වොත්

සමන් ලෙනින්:

ජන ගීයේ පාද යාත්‍රාව මාත්‍රා කණ්ඩායමේ නිර්මාතෘ සමන් පනාපිටිය මහතා සෞන්දර්ය කලාවිශ්ව විද්‍යලයේ සංගීත අංශයේ ජේෂඨ කතිකාචාර්ය වරයෙක් වන අතර  මානව වංශ සංගීත විද්‍යා අංශයේ  අංශාධිපතිතුමා ද වනවා.  මාත්‍රා කණ්ඩායම ආරම්භ කිරීමට පෙර සිටම ඔහුගේ විවිධ පර්යේෂණ කටයුතු විවිධ ප්‍රසංග වලට මම සහභාගී වෙනවා.  ඔහු හා බොහෝ ළඟින් වැඩ කටයුතු කරන්න ලැබෙනවා.  මාත්රා කණ්ඩායම ආරම්භ කිරීමත් සමග එහි සාමාජිකයෙක් විදියට අද වනතුරු වැඩ කරනවා. ඔහු හා එක්ව වැඩ කිරීමෙන් මා ලැබූ පන්නරය අපමණයි.  ඔහු අපට පියෙක් හා සමානයි.     

හේමමාලි :

මෑත කාලයකදී බොහෝ ජනප්‍රියත්වයට පත්වුණු දැවන්ත චිත්‍රපටියක පසුබිම් ගායනයට ඔබට ආරධනා ලැබෙනවා.  එහි රසවත් තොරතුරක් ඇති අප හා බෙදා ගන්න 

සමන් ලෙනින්:

ඔව් සෝමරත්න දිසානායකයන්ගේ “සිරි පැරකුම්“ චිත්‍රපටිය .  ඇත්තටම ඔහු එහි “අම්බරුවෝ“  ගීතය මා වෙනුවෙන්ම ලියූ ගීතයක් වීම විශේෂයි.  ඔහු අපේ විශ්ව විද්‍යාලයේ නොයෙකුත් ප්‍රසංග සදහා ආරාධිත අමුත්තෙක් විදියට සහභාගි වෙනවා.  ඒ අවස්ථාවල මගේ  හඬ අසා ඔහුගේ ඊළග කලා කෘතියට මගේ  හඬ මුසු කළ යුතුයි  කියන හැඟීමෙන් සිටිය කෙනෙක්.  ඇත්තටම කේෂත්‍රෙය්  ප්‍රවීණයෙක් හැටියට  ඔහුගේ ආදරයට පාත්‍රවීමම මා භාග්‍යයක් කොට සලකනවා.  මේ මගේ මුල්ම චිත්‍රපටි ගායනය නොවේ .  මීට පෙර “සිනාසුනා ආදරෙන්    “සුපර් සික්ස්“  හා “සංගිලි“  කියන චිත්‍රපටිවල පසුබිම් ගීත ගායනා කරල තියෙනවා. 

හේමමාලි :

මීට අමතරව ඔබ ටෙලි නාට්‍ය බොහොමයක තේමා ගී ගායනා කරනවා . මම හිතන්නේ දැනට වසරක් තුළ වැඩිම ටෙලි නාට්‍ය තේමා ගී සදහා කට හ‍‍ෙඬ් දායකත්වය ලබා දී  ඇති ගායකයා ඔබ විය යුතුයි ඒ පිළිබද විස්තර කළොත් 

සමන් ලෙනින් : 

ඇත්තෙන්ම නිහතමානිව කියන්න සතුටුයි වසරක් ඇතුළත වැඩිම ටෙලි නාට්‍ය තේමා ගී ගැයීමට මට අවස්ථාව හිමි වෙලා තියෙනවා. එම තේමා ගී ගැයීමට තෝරා ගැනීම සම්බන්ධයෙන් එහි වගකිව යුතු අයට මගේ ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.  මට මුලින්ම ගායනා කරන්න  ලැබෙන්නේ  අජිත් ලොකුගේ අධ්‍යක්ෂකවරයාගේ “ සිහන සාප්පුව“  ටෙලිනාට්‍ය සඳහායි. එහි සංගීතය ලක්ෂ්මන් විජේසේකරයන්ගෙන්.   ඉන් පසු මොහාන් ජී රංගනාථයන්ගේ “යස ඉසිරු“  ටෙලි නාට්‍ය තේමා ගීතය. (සංසාරේ ඝන අන්ධකාරේ)එම ගීතය මට විශේෂයි.  එයට සිග්නීස් සම්මාන සහ රාජ්‍ය  ටෙලි සම්මාන උළෙලේ  හොඳම  ගායකයාට හිමි සම්මාන මට හිමි වෙනවා.    අහස්  ගඟ , ඇත්කඳ ලිහිණියා, රන්සිරිමල්,  අළු බදුන, තරු අහසට ආදරෙයි, සිහින විලක්, බාගෙට නෑයෝ,  කොළඹ අහස , ස්වර්ණපාලී,මීට අමතරව ඉදිරියේදී ප්‍රචාරය  වීමට  නියමිත සත් පත්තිනි, කිංචි ගුණේ,  දුටු නොදුටු මල , හිරු මඩල, ඇතුළු තවත් කීපයක තේමා ගී ගායනයෙන් මා දායක වෙනවා.

තවත් විශේෂ කාර්යයක් මට ලැබෙනවා ඒ ගයා රම්‍ය අල්විස්ගේ කොළඹ අහස ටෙලි නාට්‍යෙය් තේමා ගීතය නිර්මාණය කරමින් ගායනා කරන්න. එම තේමා ගීතය අද ලංකවේ බොහෝ ජනප්‍රිය තලයක තියෙන බව කියන්න සතුටුයි. 

ප්‍රසිද්ධ රූපවාහිනිවැඩ සටහන් වල තේමා ගී  අතර   ජැක්සන් ඇන්තනි මහතාගේ මහා සංචාරය තේමා ගීතය,   සැරිසර වැඩ සටහන , තව නොයෙකුත් වැඩ සටහන්  තේමා ගීත ගායනා කරන්න මට මේ වෙනකොට ලැබිල තියෙනවා .

මේ කාරණාවත් මතක් කරන්න මට අවසර,  රංගන ශිල්පියෙක් හැටියට  දැනට ටෙලි නාට්‍ය කීපයටකට දායක වෙලා ඉන්නවා ඒ යස ඉසිරු, රංසිරිමල්, සත් පත්තිනි. එයිනුත් ජයලත් මනොරත්නයන්ගේ  “බූරුවා මහත්තයා“  වේදිකා නාට්‍යෙය් ගායකයාගේ චරිතය රග දක්වන්න ලැබීම  මට ලැබුණු වාසනාවක් හැටියටයි මම සලකන්නෙ. 

හේමමාලි: 

ඔබ සංගීත ලොවේ  හෙමින් හෙමින් ස්ථාවර  ගමනක් යමින් සිටින වග පේනවා.  අද ලංකාවේ පමණක් නොවේ මුළු ලොවම   සුපිරි තරු උන්මාදයෙන් පෙළෙන යුගයක ඔබ සංගීත ගංගාවේ  උඩුගං බලා පිහිනන තරුණයෙක් .   ඇයි ඔබ  මේ වගේ ගමන් මගක් තෝරාගත්තේ?

සමන් ලෙනින් : 

අපි හිතමු මෙහෙම, සංගීත කේෂ්ත්‍රය මහ ගංගාවක් නම් එහි  මා තරණය කරන ඔරුව ගැමි සංගීතයයි.    දේශීය අනන්න්‍යතාවය ගායන කේෂත්‍රයට මුසු කිරීම මගේ අභිප්‍රායයි.    මේ මහ පොළව එක්ක මට ආත්මීය බැඳීමක් තියෙනවා ඒක යුතුකමක් හැටියටත් මට දැනෙනවා.    මගේ කුඩා කාලෙදි ගෙදරින් ලැබුණු ඒ මහඟු  දායාදය, දේශියත්වයට ආදරය කිරීම තමා මට මෙවන් ගමන් මගක් තෝරා ගැනීමට මග පෑදුවේ.

අද වෙන කොට  මේ දේශියත්වයට ලොකු ඉල්ලුමක් තියෙනවා.  ඇත්තටම රජත රශ්මි “රිදී නද“  වැඩ සටහන ගැන කිව්වොත් එය කෙටි පණිවිඩ වලින් තරඟ කරුවන් තෝරපු  වැඩ සටහනක් නොවේ.  රෝහණ වීරසිංහ ප්‍රමුඛ ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක්  හිටියා මේ තරගකරුවන් තෝරන්න.  ඒ වගේම අපේ සැබෑ දක්ෂකම් එළි දක්වන්න අවස්ථාවක් වුණා ඒක.  එහිදී  මම රුහුණේ “රිදී නද “ අභිෂේකය ලබා මුළු ලංකාවෙන්ම දෙවැනි ස්ථානයට පත්වුණා.  

හේමමාලි :

ඔබේ කලා දිවියට අතහිත දුන් අය ඇති මතක් කළොත් ඒ අය

සමන් ලෙනින් : 

මගේ ගෙදරින් සහ ගුරුවරු ඇතුළු සමන් පනාපිටිය, ජයලත් මනෝරත්න, රෝහණ බැද්දගේ,  රෝහණ ධර්මකීර්ති, රත්න ශ්‍රී විජේසිංහ, ජැක්සන් ඇන්තනි,  නාලක අංජන කුමාර, රංජිත් බාලසූරිය , රෝහණ වීරසිංහ,ගයා රම්‍ය අල්විස්, අසේල බණ්ඩාරනායක, රවීන්ද්‍ර මුණසිංහ, දර්ශන රුවන් දිසානායක , ධම්මික බංඩාර, රජී වසන්ත වෙල්ගම මීට අමතරව නොයෙකුත් ආකාරයෙන් තවත් අතහිත දුන් අය ඉන්නවා නම් වශයෙන් සඳහන් නොකළට ඒ අය අමනාප නොවෙනු ඇතැයි සිතනවා.  ඇත්තටම කියන්න සතුටුයි  මේ ප්‍රවීණයන්ගේ ආදරයට  මා පත්වෙලා පමණක් නොවේ ඔවුන්ගේ  උපදෙස්  උදව් උපකාරද  මට නොඅඩුව ලැබෙනවා. 

හේමමාලි :

ඔබේ ප්‍රථම  ගී ප්‍රසංගය  මෙල්බර්න් නගරයේ   පවත්වන්න නියමිතයි.  මේ ප්‍රසංගය ඔබ මොන ආකාරයෙන්ද පෙළගස්වලා තියෙන්නෙ?  ඒ වගේම මෙල්බර්න් සහෘද ජනතාවට ආරධනා කිරීමට ඔබට අවස්ථාව; 

ඇත්තෙන්ම ඔව් මේ මගේ ප්‍රථම ගී ප්‍රසංගය.  ඉතිං සුහද කතා බහක යෙදෙමින් ඔබට ඉහළ ආස්වාදයක් ලබා දෙමින් ඔබේ හදවතට සමීප වෙන්නයි මගේ වෑයම.  ඒ නිසා මමත්   ගයා රම්‍ය අල්විස් මගේ මිත්‍රයාත්මේ දිනවල ඉතා මනරම්   ප්‍රසාංගික සැලැස්මක් පෙළ ගස්වමින් ඉන්නෙ.    එය ඔබට නැවුම් අත්දැකීමක් වනවාට කිසිම සැකයක් නැහැ.  මගේ සරල ගීත,  ටෙලි නාට්‍ය ගීත, චිත්‍රපටි ගීත ඇතුළුව  ජන ගීයේ ජන සම්ප්‍රාදයේ විසිතුරු තැන් සොයා යෑමක් මේ ප්‍රසංගයේදී ඔබට අත්විඳින්න හැකි වේවි. ඊට අමතරව යුග ගී කීපයකුත් නර්ථන අංග කීපයකුත් ඇතුලත් වෙනවා.  තවත් විශේෂයෙන් කියන්න ඹීනෙ අපේ නැසී ගිය ප්‍රවීණ ගායකයෙකුගේ ගීතයක් මේ ප්‍රසංගයේදී ගායානා කරන්න මට අවසර ලැබිල තියෙනවා. ඒක මට ලැබුණු මහත් භාග්‍යක්  කොට සලකනවා.   ඒ පිළිබද වැඩි විස්තර ප්‍රසංගයෙදී කතා බහ කරමු.  තවත් විශේෂ තාල වාද්‍ය  අංග 2ක්ඉදිරිපත් කරන්නත් මම බලාපෙරොත්තු වෙනවා.  ඒ අතර ඔබ නුදුටු සංගීත භාණඩයක් වාදනය කරන්නත් බලාපොරොත්තු වෙනවා.  ශ්‍රී ලංකාවේවත් මගේ ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වා නැහැ. ඉතිං අපේකම බෙදා ගන්න, නැවුම් අත්දැකීමක් විඳගන්න ආදරණීය මෙල්බර්න්වාසී අපේ කට්ටියට ප්‍රසංගයට එන්න කියා ආරධනා කරන්න කැමතියි. 

විශේෂයෙන්ම මට මේ ප්‍රසංගය එළි දක්වන්න  ආරධනා කළ  හෙළ මාත්‍රා සංස්කෘතික පදනමටත් ඒ වෙනුවෙන් අනුග්‍රහය දක්වන වින් කැපිටල්(Vin Capital) ආයතනයටත්   මගේ ආදර භක්ති ප්‍රණාමය මෙසේ පුද කර සිටින්න කැමතියි.

හේමමාලි:   අපේ රසවතුන් කැමති වෙයි ඔබේ පවුලේ විස්තරත් පොඩ්ඩක් දැනගන්න; 

සමන් ලෙනින්:

මගේ තාත්තා චිත්‍ර ගුරුවරෙයෙක් වගේම විශ්‍රාම ගියේ ග්‍රාම නිළධාරි කෙනෙක් විදියටයි. මගේ අම්මා නැතිවෙලා දැනට අවුරුදු තුනක් වෙනවා .   වැඩිමල් සහෝදරයන් හතර දෙනෙකුත් නංගි කෙනෙකුත් මට ඉන්නවා.  මගේ බිරිඳ නිර්මලා ප්‍රියදර්ශනී මට මුණ ගැහෙන්නේ විශ්ව විද්‍යලයේදී දැන් අපිට මාස පහක පුංචි දුවෙක් ඉන්නවා.

හේමමාලි:

කෙටියෙන් කිව්වොත් ඔබ ඉතා  සාර්ථක ගමනක යෙදෙන ගායකයෙක්, කලා කරුවෙක්  ඔබේ අත්දැකීම් ඇසුරෙන් අලුතෙන් බිහිවෙන පරපුරට  යමක් කියන්න ඔබට ඇති;

සමන් ලෙනින්:

ඔව්. ඇත්තටම මට මුල ඉඳලම ඕන වුණේ ජනතාවගේ  හදවතේ ජීවත්වෙන කලාකරුවෙක් වෙන්න.  අද වෙනකොට  හිතනවා මම  ඒ මාවතේ යම්තාක් දුර පැමිණි කලාකරුවෙක් කියලා. යා යුතු දුර මට හොඳින් පේනවා.  අපේ දෙමවිපියන් ජීවත් වුණ ජීවත් වෙන  යහපත් විදිහක් තියෙනවා.  හිතේ තෙතමනය රකින සියලු මිනිසුන් එක තැනට ගෙනෙන සත්‍යෙය් මාවතේ පිය මනින කලාකරුවෙක් බිහිවීමයි සමාජයකට අවශ්‍ය.  එවැනි කලාකරුවන් වටා සමාජය එක්රොක් වෙනවා.  යහපත් සමාජයක් ගොඩ නගන්නට ඔවුන්ට හඬක් නැගිය හැකිවන්නේ එතකොටයි.  ඒකයි මගේ විශ්වාසය. අප සතු ප්‍රබල සංස්කෘතිමය අනන්‍යතාවය මුසු වූ කලාකෘති බිහි කිරීමට උත්සුක වන්නේ නම් ඔවුන්ට පිං සිදුවන්නේය. 

හේමමාලි :

මෙල්බර්න් නගරයේ පැවත්වෙන ඔබේ මංගල  ගී ප්‍රසංගය අනර්ඝ නිරමාණයක් වනවාට කිසිම සැකයක් නැහැ.  එය සාර්ථක කර ගැනීමට ධෛර්ය ශක්තිය පතන අතර ඔබවන් සැබෑ දක්ෂයන් ශ්‍රී ලංකාවට මහත් අභිමානයක්, දායාදයක්,  වාසනාවක්.  තව තවත් මෙවන් නිර්මාණ කටයුතු කරමින් කලා ලොව චිරාත් කාලයක් වැජඹේවා!!

“භූමි”හෙළ ගී මියැසිය - සමන් ලෙනින්ගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය

ස්ථානය සහ දිනය :  ඔක්තෝම්බර් මස 26 වෙනි ඉරු දින හවස 6.00ට  Marian College –  196 Glengala  Road  Sunshine West

 

 

Last modified on Tuesday, 28 October 2014 13:44