විප්‍රවාසී අපේ අනාගත පරපුර Featured

Thursday, 08 May 2014 00:00 Written by  Published in Nimnaya
විප්‍රවාසී අපේ අනාගත පරපුර credits: michaeljung / 123RF Stock Photo

ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ ආපස්සට හැරී බලද්දී සුන්දරම කාලය කුමක්දැයි ඇසුවහොත් එය ළමා කාලය යැයි පිළිතුරු ලැබෙන්නේ සිතැතිනි.  රජ මැදුරක උපන් පුද්ගලයකුටත් දුගී පැලක උපන් පුද්ගලයෙකුටත්  ඔවුන්ට ආවේනික සුන්දර ළමා කාලයක් ඇත.  එය සමාජීය වශයෙන් බැලුකල පන්ති පරතරයක් තිබුනත් දුගී පැලක උපන් දරුවකුගේ ළමා කාලය අසුන්දරයැයි කිව නොහැකිය.

 

හෙළයන් වූ අප උතුම් සංස්කෘතික වටිනාකම් රැසක් උරුමකම් කියූ ජාතියක් ලෙස දැක්විය හැක.  ඕනෑම පුද්ගලයෙකුගේ හැදියාවත්, ගති සිරිත් චර්යාවන් හා ජීවන රටාව කෙරෙහි ඒ ඒ පුද්ගලයා අවට පරිසරය, සමාජ පසුබිම, ඇසුරු කරන උප සංස්කෘති ආදිය බලපායි.  ඒවාට අනුගතව පුද්ගලයා සමාජානුයෝජනයවීම දැකිය හැක.  එසේම, යම් පුද්ගලයෙක් රටකින් රටකට සංක්‍රමණය වීමේදීත් තමාට උරුම භාෂාව, සාහිත්‍ය, සිරිත් විරිත් ආදි සංස්කෘතික ගති සිරිත් රැගෙන යයි.  තමා සංක්‍රමණය වූ රටේ නව ජීවන රටාවකට අනුගතවන  මොවුන් තමාට හුරු පුරුදු භාෂාවන් සිරිත් විරිත් ආදී සංස්කෘතික වටිනාකම් රැක ගෙන අනාගත පරපුරට දායාද කිරීමට වෙහෙසෙයි. 

ලෝකයේ රටවල් ගත් කල ඕස්ට්‍රේලියාව බහු සංස්කෘතික රටකි.  විවිධ සංස්කෘතින්ට අයිති වීවිධ රටවල්වලින් පැමිණි ජනයා ජීවත්වන රටකි.  ඕස්ට්‍රේලියාවේ මව් භාෂාව වන්නේ ඉංග්‍රීසි භාෂාවයි.  එසේ  වුවත් ඒ සංස්කෘතීන්ට ජනතාවගේ භාෂාවන්, අදහස් උදහස්, පල කිරීමට තමන්ගේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කර ගැනීමට ඉඩ සලසාදී තිබේ.  ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද අපට උරුම භාෂාව සිරිත් විරිත් කලාශිල්ප ආදී වටිනාකම් මෙරටේදී අපේ දරුවන්ට උරුම කර දීමට වෙහෙසෙයි. 

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු වාසී අපේ දරුවන්ට අප ලංකාවේ කුඩා කල අත්විදි පාරිසරික අත්දැකීම්, සමාජ ඇසුර, මෙන්ම නිදහස ඒ අයුරින්ම බුක්තිවිදීමට ලැබේ යැයි සිතිය නොහැකිය.  අපේ දරුවන් ඕස්ට්‍රේලියානු මහා සමාජය හා ගැටීමේදී මහා සමාජයට අනුගත වීමේදී ඒ සමාජයට අනුගතව සමාජානුයෝජනය වීමට සිදුවේ.  එහිදී වැඩිහිටියන් ගුරුවරුන් මෙන්ම පාසලේදී ඇසුරු කරන හිත මිතුරු සමාජ, විශ්ව විද්‍යාල ආදී විවිධ උපසන්ස්කෘතින්ට ද අනුගතව ජීවත්වීමට සිදුවේ.  එහිදී හෙල සිරිත් විරිත් භාෂාව, සංස්කෘතික වටිනාකම් අපේක්ෂිත මට්ටමෙන් සියයට සියයක්ම ලැබේ යැයි සිතිය නොහැකිය.  එමෙන්ම ඕස්ට්‍රේලියානු සමාජය ඇසුරු කිරීමෙන් අපට ආවේනික වටිනාකම් සියල්ල විනාශ වේයැයි ද  සිතිය නොහැකිය.  ඕස්ට්‍රේලියානු සමාජයේ ද අපට උකහා ගත හැකි සාරධර්ම වටිනාකම් පද්ධතියක් ඇත.  ජීවත්වන මේ මහාසමාජයේ සංස්කෘතික වටිනාකම් මෙන්ම අපේ හෙළ සංස්කෘතියට අනුව දරුවා හැඩ ගැසීමේදී සමහර මත ගැටුම් නොගැලපීම සමහර අවස්ථාවලදී  සිදුවුවත් දෙමව්පියන් වශයෙන් අපගේ වගකීම මෙන්ම යුතුකම වන්නේ ඕස්ට්‍රේලියානු සමාජයේ සංස්කෘතික වටිනාකම් පද්ධතියෙන් අපට ලබාගත හැකි ගති සිරිත් හොද නරක ආදිය අපේ හෙළ සිරිත් විරිත් වටිනාකම් පද්ධතියට අනුගතව තොරා  බේරා ගෙන එයට අනුගතව ජීවත්වන්නේ කෙසේදැයි පෙන්වා දීමෙන් හැඩ ගැසීමට උපකාරී කිරීමයි.  මෙය සංස්කෘතික පද්ධති දෙකක ගැටීමක් වන හෙයින් සමහර දරුවන්ට එය දරාගත නොහැකි තත්වයක් පෙන්නුම් කරයි.  මෙහිදී බොහෝ විට හෙළ සිරිත් සාරධර්ම පසෙකට දමා ඕස්ට්‍රේලියානු සමාජයේ වටිනාකම් පද්ධතියට අනුව බටහිරකරණය වීම සිදු විය හැක.  මෙහිදී සමහර දෙමව්පියන් ප්‍රාර්ථනා කළ හෙළ සිරිතට විරිතට මුල්තැන දී ජීවත්වන දරුවකු නොලැබීම හේතු කොට ගෙන දරුවන් නිසා දෙමව්පියන් අපේක්ෂා භංගත්වයට පත්විය හැක. 

බුද්ධිමත් මව්පියන්ගේ යුතුකම හා වගකීම වන්නේ හෙළ සිරිත් විරිත් වටිනාකම් පද්ධතිය ගැන අවබෝධය නිවසේදීම ආරම්භකර මූලික අඩිතාලම දැමිය යුතුයි.  මෙමගින් දරුවා මහා සමාජයට අනුගත වීමෙදි හොද නරක තෝරා බේරා ගැනීමට උපකාරී වේ. සමාජය සංකීර්ණ වීම හේතුකොට ගෙන මව පියා හා දරුවා පමණක් සිටින න්‍යාෂ්ටික පවුල තුල සීයා ආච්චී නැන්දා මාමා ඇතුළු සියළු දෙනා ජිවත්වන විස්සෘත පවුලක අත්දැකීම්, උපදෙස්, ජීවන රටාව එමෙන්ම පරිසරහිතකාමි නිදහස් කෙළිලොල් ළමා විය ඒ අයුරින්ම ලැබේ යැයි සිතිය නොහැකිය.  කාර්මීකරණයට, යාන්ත්‍රීකරණයට  ගොදුරු වූ වර්තමාන දරුවන් බොහෝ විට හුදකලා වූ අවිවේකී බොහෝ විට යන්ත්‍රසූත්‍ර මෙන් ගෙවන ජීවිතයෙන් විස්සෘත පවුලක සිටින දරුවකුගේ ලක්ෂණ ඒ අයුරින්ම දැකිය නොහැක.  විප්‍රවාසී බොහෝ දරුවන් ද න්‍යාෂ්ටික පවුලක ජීවත්වන බව පෙනේ.  එහිදී, අපේ සාරධර්ම වටිනාකම් දරුවන්ට ලබා දීමට ආගමික ස්ථාන ඇසුර, සිංහල භාෂා පාසල් යැවීම, මගින් අපේ කම අපේ දේ දරුවන්ට ලබා දී අපේ සිංහල සමාජ ඇසුර, දරුවාට ලබා දීමට උනන්දු වීම මව්පියන් වශයෙන් අපගේ යුතුකමයි.  එබැවින් සංස්කෘතින් දෙකක දරුවා අතරමන් නොකර දරුවාට යහ මග පෙන්වා දීමට නිවසේදීම අඩිතාලම දැමිය යුතුයි.  මව්පිය රැකවරණය, මග පෙන්වීම ආදරය සෙනෙහස නොලැබෙන දරුවන්ගෙන් අපේ කම අපට කිසිදා ලැබේ යැයි සිතිය නොහැක. 

 

Last modified on Thursday, 08 May 2014 14:16