රොකට්ටුවක් නැතිව සිනමා රසිකයන් හඳ(යා)ට උඩින් යවපු ෆර්ඩි ගේ කතාව Featured

Thursday, 25 August 2016 00:00 Written by  Published in Nimnaya

"මොකද්ද ටීචර් රොකට් එකක් කියන්නේ ...."

ෆර්ඩිගේ කතාව 2015 උදුවප් මාසේ 11දා  ඉඳන් ලාංකීය සිනමාහල් රැසක තිරගත වීම ආරම්භ වුනා. සති දෙකක් ඇතුලත තියෙයිද? ගැලවෙයිද? දෙගිඩියාවක් කුළුදුල් සිනමා සම්ප්‍රාප්තිය තුල නොතිබුනා නොවේ. මේ නවක සිනමාකරුවෙකු හට කොතරම් ආර්ථික අභියෝගතා ජය ගත හැකිවුවත්, ප්‍රදර්ශන අභියෝගතා ජයගැනීමට වඩා හදට යෑම පහසුයැයි සිතේ. ඉන්දික ෆර්ඩිනැන්ඩො හෙවත් ෆර්ඩි ගේ රොකට් කතාව බලපු මිනිස්සු, කට වහරෙන් නොබලපු බොහෝ දෙනෙක් සිනමා ශාලාවලට අසුන් ගත කලා. සෝමේලාට හිමි විශ්ව රාජ්‍ය වරප්‍රසාද ප්‍රචාරණ ෆර්ඩි ගේ රොකට් එකට හිමි නොවීමද, බොහෝ විචාරකයන් ඇහැ කන පියා ගැනීම මෙන්ම අන්තවාදී ඔලුබක්කන් ෆර්ඩිගේ  කතාවේ අංශු මාත්‍රයක් අල්ලාගෙන, ශ්‍රද්ධාව යටකරගෙන, වෛරයේ පිළිකුළට පාත්‍රකරවීම ද ෆර්ඩි ගේ කතාවට ආශිර්වාදයක් වූ බව පෙනේ. 

 

මේ කතාවට නිෂ්පාදක කුසුම්, යසෝදරා මෙන්ම අධ්‍යක්ෂක ෆර්ඩිත්, මුලපියවර තබන්නෙත්, සිහින දකින්නෙත් මෙල්බර්න් පුරවරේ සිටවීම, පුදුමයි, ඒත් ඇත්තයි. ඉතින් මෙල්බර්න්හිදී අන්තිම ආලෝක කදම්බය දැකීමට අපිද ජස්ටින් මාමාගේ බස්එක වගේ වන, Chandler Community Centre එකට ගොඩ වුනා. වැඩි ප්‍රතිශතයක් වුයේ පුංචි පැටව් සහ දෙමාපියන්. 

 

ෆර්ඩිගේ  කතාවේ හොද සිනමා තාක්ෂණික රොකට්කරුවෙක් ජීවත් වන බව සහ විධිමාත්‍ර කැමරා ශිල්පියකු (චන්න දේශප්‍රිය) යොදා ගත් බව ප්‍රත්‍යයක්ෂ වන්නේ, මුල් විනාඩි පහ තුල ප්‍රේක්ෂක ඇස ගුරුවරිය, මුහුදු වෙරළ, බංකුව, අහසතලය ඔස්සේ මාරු වෙන චරිත අතරින් කාටත් නොදැනෙන්න, 360 අංශකය ඔස්සේ කැමරාව සරතන්නේ පුංචි එවුන්ගේ සිහිනයට හොද ආරම්භයක් දෙමින්, එමෙන්ම රුප රචනයක කාර්මික ශිල්ප මායිම් හැඩ ගන්වමින්.

  

චිත්‍රපටියේ ආරම්භයේ ගුරු පත්වීම ලැබීමත් සහ එම පත්වීම ගුරුතුමී (අනසුයා සුබසිංහ) පිළිගැනීමත්, වර්තමාන සාමාජ මාපකයන්හි දෝලනයන් ඇති බවත්, රූප රචනයට සජීවී ජීව වස්තු මෙන්ම ප්‍රේක්ෂකාගාරයේ හුස්මද හොරා ගන්නට ෆර්ඩිගේ දවස් දෙකෙන් ලියපු කතා රොකට්ටුව සමත් වී ඇති බවත්ය. ෆර්ඩිගේ චිත්‍රපටය ආරම්භවන්නේ මුහුදු වෙරළෙනි. අවසන් වන්නේ ද මුහුදු වෙරළෙනි. එහෙත්, පොඩි එවුන්ගේ සිහිනය අවසානය වනතෙක් හෝ ගානා පොකුණ සඟවා තබයි. එහි උච්චය අපේ ද ගුරුතුමීගේ ද ඇස අග කදුළු පොකුණක් මතුකරන්නේ පොඩි එවුන් සතුටු සිහිනයේ ගිල්වමින්. 

 

නොපෙනෙන පෙම්වතාගේ (ජගත් චමිල) රුපකය ඔස්සේ පුංචි එවුන්ට නොතේරෙන්න, ලොකු අයට හිතන්න යමක් ෆර්ඩි කියයි. ගුරුවරියගේ පෙනෙන නොපෙනෙන පෙම්වතා අවට ජීවත්වන සාමාජ, දේශපාලන සහ වානිජත්වයේ අළුදුවිලි තුල පොලිස් ජල ප්‍රහාර වලට, හුදී ජනයා පෙළගස්වන රතු ක්‍රෝටන් පෝස්ටර් වලට, පාප්ප ගා  තාප්ප පුරවා සවසට ආප්පයක් කා සැනසෙන විප්ලවවාදීන් අතර ඝට්ටනය වන ජීවිත තුල හමා යන දුගන්දයේ හිඩැස් ද, කල්පිත න්‍යායාත්මක සිද්දාන්ත සහ ප්‍රායෝගික අත්දැකීමක සිග්නලයක වෙනස සොයා ගන්න උත්සහ කරන ගුරුතුමී පමණක් නොව ඊට තටමන සමාජ තන්ත්‍රය සමගින් ප්‍රේක්ෂකාගාරයද ගමට ගෙනි යයි. 

 

ෆර්ඩි, වැවක් නොදැකපු, ගොයමක සුවද නොදැනුනු මෙල්බර්න් උපන් පැටව්, ගමටද, පුංචි ඉස්කෝල පාත්තියට ද, වැවුකන්ඩිය මතටද,  උදේ රැස්වීමටද පෙළ ගස්වයි. දවසේ අරමුණක් නැති පොඩි එවුන්ට හිතන්න යමක් ඉගි කරයි. අම්මා, තාත්තට පස්සේ ගුරුවරු යනු ගුරු දෙවිවරු බව පසක් කරයි. “මාව විශ්වාස කරලා එන්න" කියන ගුරු දෙවිවරු අභියස සමස්ත ජාතියක ප්‍රයෝගික අරමුණු, ක්‍රියාවන් මෙන්ම විකල්ප ද සතු බව පෙන්නා දෙයි. ෆර්ඩිගේ කතාවේ වීරවරිය ගුරුතුමී බවට පත්වේ. අනසුයා චරිතාංග රංගධරියක් බව සම්මානනීය ලෙස ඔප්පු කරයි. ලුෂන් බුලත්සිංහල සහ ජයලත් මනෝරත්න එකම තලයක හසුරුවන්න ෆර්ඩිට ඉඩකඩ ලැබුණි නම්, නිහඩ අභියෝගයක් අහඹු ලෙස ජය ගෙන ඇත. 1982-83 කාල වකවානුවෙන් පසු එවැන්නක් මා දැක නැත.

 

හදට ගිහින් එන්න නෙමයි.

ලෝකේ වටේ යන්න නෙමේ 

ඩෙගා නටන පිනුම් ගහන ආසාවට දොර අරින්න ....

දොන් තක තක කිට පත පත ....

දොන් තක තක කිට පත පත ....

ජස්ටින් මාමාගේ බස් එක අපට දෙන්න එක දවසට 

දොන් තක තක කිට පත පත ....

දොන් තක තක කිට පත පත ....

 

දිනේෂ් සුබසිංහ නමැති යොවුන් හිතුවක්කාර සංගීත නිමැවුම්කරුවා සිනමා සංගීතයේ දඩබ්බර හැඩකාරයකුට සංගීත මායිම් කොහෙත්ම ආදාල නැති බව පසක් කරයි. පසුබිම් සංගීතය අපේ කනටද හිතටද රොකට්ටුවටත් වඩා වේගයෙන් රිංගා ගනී. මුළු කතාවස්තුව පුරාවටම සංගීත රසකාරකයක් ලෙස යොදා ගැනීම කැපී පෙනේ. ෆර්ඩි සිංහල සිනමාවේ අරුමෝසම් රිද්මකාරක අධ්‍යක්ෂකවරයා යයි සිතෙන්නේ සෑම රූප රචනයක් තුල පසුබිම් සංගීතයෙන් වෙන්වූ අරුමෝසම් පිනුම් රිද්මයක් සහ ශබ්ද ලීලාවක් ගැබ්ව ඇති බව දැනෙන බැවිනි.  දිනේෂ්ගේ පසුම්බිම් සංගීතය, ෆර්ඩි සති දෙකෙන් ලියපු තිර පිටපතට රිද්මය කවන්නේ පෙර-අපරදිග සංගීත රිද්මයක ළමයින්ගේ පරිකල්පිත ලෝකය හෙවත් කතන්දර ලෝකයේ  සුන්දරතාවය ප්‍රතිනිර්මාණය කරමින්. 

 

හෝ ගානා පොකුණ යථාර්ථවාදී මහා සම්භාව්‍ය සිනමා පටයක් නො වේ. ෆර්ඩිගේ කතාව, පසුබිම, චරිත, සිද්ධි ආදී කිසිවක් යථාර්ථයන් නොවේ. ලෝක බැංකුවෙන් අපේ ඇත්තෝ ලබා ගන්න අලි පියානෝව වැනි යථාර්ථවාදී  නොවන භෞතික සම්පත් ප්‍රායෝගික අත්දැකීමක සිග්නලයෙන් පරිබාහිරව ස්වයංවින්දනයක් ලබන පරිපාලකයන්ගේ මුග්ද බව  අපුරුවට ප්‍රශ්න කරයි. සැබෑ  යථාර්ථවාදී ලොවේ ද මෙවන් හොල්මන් ඇති බව රටේ අධ්‍යාපන කාර්ය සාධකයන් අදටත් නොදනී. 

 

"ලොකු සර් හොදට කලා" උක්කුන්ගේ කතාව ඇත්ත බව ලුෂන් බුලත්සිංහලට කියන්න. පුංචි පැටව් 18ක් ෆර්ඩිගේ පිට්ටු බම්බුවක් වැනි සිහිනයට යථාර්ථය කවලා පුංචි පැන්චියෝ විටක අඬවයි. ලොකු එවුන්ටද තුන් සතර සැරයක් අඬවා සිනාවේ කැවුමක් ද කවන්නේ හිතට මිස කටට නොවේ. 

 

ජස්ටින් මාමා (ජයලත් මනෝරත්න) වෙනුවට ගුරුතුමී ව ජස්ටින් මාමගේ රොකට්ටුවේ ඉන්දවීම සහ ග්‍රාමසේවක මහතාගේ නෝනා (ජයනි සේනානායක) ආරුඩ කරවීම ෆර්ඩි වේදිකාවෙන් උපන් බවත්, රූප රචනය තුල බිඳක්වත් අප අතරමං නොකරන්න සමත් වී තිබුන බවත්, දර්ශන අතර ගැලපීම, කතාවේ විශ්වාසය සුරැකීම සහ සමීප රූප ඔස්සේ අපේ හිතේ ඇතිවන හැඟීම්, වර්තමාන දේශපාලන තලයද දැඩිව ස්පර්ශ කරමින් පෙන්නා දෙයි. මනෝරත්න චරිතය තුල දැඩි පරිණත රුපනයක් ඉදිරිපත් කිරීම අලුත් දෙයක් නොවේ. හැබැයි හඳයා බලපු අයට මනෝගේ මෙහි දායකත්වය ෆර්ඩිගේ කතාවේ ජස්ටින් මාමගේ චරිත ස්පන්දනය උපරිමයෙන් වැඩි කර තිබේ. 

 

සැබෑ විකාරරූපී හා යථාර්ථවාදී නොවන මාවතක් යොදා ගනිමින් සම්මත වීරාඛ්‍යානය, සිනමා රේඛනයේ යොදා නොගනමින් අප ඉදිරියේ ප්‍රතිනිර්මාණය කරන්නේ, වත්මන් ළමා ලෝකයේද වැඩිහිටි ලෝකයේද පොදු සාධකය වන ජීවත්වන යථාර්ථයයි. ආලෝකකරණයෙදී හොදින් සැලකිලිමත් වීමත් සංස්කරණයේදී ලොකු සෙල්ලම් නොදා ෆර්ඩි කතුර තමන් අතේ තියන් හිටියාදැයි මට සිතේ. ළමයිට බොරු මායම් ගොතන ආතා පසුව ෆර්ඩි වැවට තල්ලු කරාදැයි වැවට වැටුණු ජස්ටින් පවා නොදනී. ග්‍රාමසේවක (දයාදේව එදිරිසිංහ) තෙමේ දුෂ්ඨත්වය තුල දේශපාලන කවටයා බවට පත් කරන්න ද ජනතා අභිප්‍රායන් ගොනු වීම් ඉදිරියේ පාලකයන්ට අමුඩ ගසා පලා යන්න වන බවද ෆර්ඩි අපට මතක් කරයි.

 

ෆර්ඩිගේ කතාවේ සැබෑ ආර්ථික ප්‍රතිලාභ රොකට්ටුව හදපු එවුන්ට ද පස්සේ තෙල් ගහපු එවුන්ට ද යන්න ප්‍රශ්නාර්ථයකි. කුසුම්සිරි සහ නිෂ්පාදක උත්තමයන්ට අපේ ප්‍රණාමය. උක්කුං අපේ ළමයි අතර වීරයෙක් වී ඇත. අන්ධ දැරිය අසන්නේ නුතන සමාජ වර්ණාවලිය ගැන නොවේදැයි අපම ප්‍රශ්න කරනු ඇත.

 

මෙල්බර්න් සිංහල නොතේරෙන පුංචි පැටව් චිත්‍රපටය උපරිමයෙන් රසවින්දා. ඇඬුවා. හිනා වුණා. අන්තිමට ඇහුවාලු  අම්මලාගෙන් ...රොකට් එක ගැන  ..හැබැයි හඳට ගිහින් එන්න නෙමේ... ලෝකේ වටේ යන්නත්  නෙමයි.  ජීවිතයේ නොදැකපු හීන ඇති නිසා. ෆර්ඩිගේ පිට්ටු බම්බුව වැනි කතා රොකට්ටුව හෙවත් "The Singing Pond" ලොකු පොඩි කාටත් ඉතා රසවත් සහ අපුරු සිනමාවියමනක් වුනා. ඉන්දික ෆර්ඩිනැන්ඩො නම් වූ යොවුන් සිනමා සම්ප්‍රාප්තික අධ්‍යක්ෂකවරයා කෙරෙහි ලෝක සිනමාව මතු බලාපොරොත්තු තබනු ඇත. 

 

 

හෝ ගානා පොකුණේ 

මම එනවා 

අපි එනවා ...

ඩෙගා නටන පිනුම් ගහන ආසාවට දොර අරින්න ....

 

 

Last modified on Thursday, 01 September 2016 22:55