සිංහාවලෝකනයයි මේ ලංකාධිනායකයා‍ණනී.......!

Friday, 07 February 2014 15:23 Written by  Published in Nimnaya

බුදු රජාණන් වහන්සේ  පිරිනිවන් පෑ දා මව් බිමට ගොඩ බට විජය කුමරුගෙන් සිහල ජාතිය පැවත එන බැව් ඉතිහාසය කියයි. 

එනයින් විජයාවතරණයෙන් පසු බිහි වුණ අපගේ හෙළ පුරාවත වසර 2500 ඉක්මවයි. භාරතයෙන් මව් බිමට සපැමිණි ආර්යයන්ගෙන් පැවත එන ‍හෙළ හැදියාව කාලීන විපර්යාසයන් සමගින් වෙනමම අනන්‍යතාවයක් ලැබීය. භාරතයෙන්ම දායාද ලෙසින් ලද බුදු දහම ඊට වෙනමම ස්වරූපයක් ලබා දුන්නේය. භාරතයේම එදවස පැවති වෙනත් ආගමික වටපිටාවන්ට වඩා හික්මීමකින් යුතුව අප මව් බිමේ ජනී ජනයා අතර පැතිර ගිය බුදු දහම ඔවුනගේ එදිනෙදා ඇවතුම් පැවතුම්, කලා නිර්මාණ, අැ‍දුම් - පැළදුම් වෘත්තීන් යනාදී සෑම අංශයක් කෙරෙහිම බලපෑවේය. රාජ්‍ය තන්ත්‍රය පවා බලයෙහි රැඳි සිටියේ ආගමික වට පිටාවකින් යුතුවය. ගරුතර මහා සංඝ රත්නය තාන්ත්‍රිකයන්ගේ උපදේශකයෝ වූහ. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ රාජ්‍ය බලය සංකේතවත් කරනා අනර්ඝම වස්තුව විය.

භාරතයෙන්ම ලද සම්පත් ඊට ඉඳුරාම වෙනස් ආකාරයෙන් මව් බිමේ උන්නතිය සඳහා යොදා ගැනුනු අවස්ථා බොහෝමයි. ඒ අතර ප්‍රධාන වශයෙන් කලා ශිල්ප කැපී පෙනෙයි. උත්තර භාරතීය සංගීතය හැදෑරූ අපගේ වියත්හු අපටම අනන්‍ය සංගීතයක් බිහි කිරීමට උත්සුක වූහ. ඒ අපේ රටේ අපේම ගැමි ජන මුවින් ගිලිහුණ ජන සංගීතය මුහු කර ගනිමිනි. භාරතයේ අජන්තා ලෙන්වල ඇඳි සිතුවම් වලට සීගිරි සිතුවම් සමානයැයි සැළකුවද, පන්සල් චිත්‍ර අපේම රේඛා රටාවෙන් ඇඳි අපේම වර්ණ සංකලනයෙන් වර්ණිත අපේම කලාවකි. ප්‍රතිමා හා කැටයම් කලාව පිළිබඳවද කිව හැකි වන්නේ එයමයි. අන්‍ය ලබ්ධිකයින් අතින් නිමාවුණ භාරත කැටයම් කලාවට වඩා සෞම්‍ය ගුණය තැවරුණ අපගේ කැටයම් කලාවේ උසස්ම නිර්මාණයක් නොවේද අනුරාපුරයේ මහමෙව්නාවේ සමාධි බුදු පිළිමවහන්සේ?

ලොව අන් සියළු දාගැබ් අතරින් අපගේ චෛත්‍ය ඉදිකිරීම් කලාව වෙන්ව හඳුනාගත හැක්කේය. ඒ ඇසුරින් බිහිවුණ වාහල්කඩ, සඳකඩ පහන, වටදා ගේ වැනි කලා නිර්මාණ අපගේ පැරන්නන්ගේ ශිල්පීය නිපුණතා මොනවට කියාපායි. සීගිරි කුරුටු ගී එහි සිතුවම් වූ ලලනාවන්ගේ රූ ශ්‍රීයෙන් වශීකෘත රසිකයින්ගේ නිදහස් පබැඳුම් විය. ජන කවිය ඇසුරෙන් නිපන් කවිත්වය සංදේශ කාව්‍ය දක්වා විිහිද දියුණුව ගලා ගියේය. ආර්යයනගෙන් පැවතගෙන ආ අපේ මුතුන් මිත්තන්අතින් තමන්ටම ආවේනිකව වර්ධනය වූ සිංහල භාෂාවේ මහිමයයි ඒ. හෙළ බසෙහි ඇති ගායනීයත්වය, ඉන් ඇති කරවන ධ්වනි පූර්ණ ගුණයට හේතුවයි. ලොව පවතින නෙක බසින් නැංවෙන ශබ්ද අතරින් සිංහල බසින් නැගිය නොහැකි ශබ්ද ඇත්තේ කීපයක් පමණෙකි.ඉංග්‍රීසියෙහි " ඉසෙඩ්" රුසියන් බසෙහි "ක්හ්" වැනි ශබ්ද ඊට නිදසුන් වෙයි. ඉංග්‍රීසියෙහි "එෆ්" අකුරට පවා අපේ වියතුන් විසින් රූපයක් හඳුන්වා දී ඇත්තේය.

ලොව බොහෝ ශිෂ්ඨාචාර බිහි වූයේ ගංගා ආශ්‍රිතවයි. මොහන්දජාරෝ, හරප්පා ශිෂ්ඨාචාර, සින්දු නිම්න ශිෂ්ඨාචාරය ඊට නිදසුන් දෙයි. එහෙත් තමන් රිසි ප්‍රදේශ වලට ජලය හරවා ගෙන්ව‍‍ාගෙන බිහිවූ ශිෂ්ඨාචාරයක් මව්බිමේ හැර වෙන රටක වේදැයි සැක සහිතය. "වැව් බැඳි රට" යනුවෙන් හැඳින්වෙන රජ රට ඉදිවූ වාපි (වැව්) කර්මාන්තය සම කාලීනව අනෙක් රටවල වූ ඉදිකිරීම් වලට කිසිසේත් දෙවෙනි නොවේ. කෘෂි ආර්ථික රටාවක් පදනම් කරගත් අපගේ රජ දවස අතීතය සරු වූයේ වාපි කර්මාන්තය නිස‍ා පමණක්ම නොවේ. ඊටම අනුබද්ධිත වූ වාරි කර්මාන්තය ද ඒ සශ්‍රීක බවට පිටිවහලක් විය. වැව් මෙන්ම. අමුණුද බැඳල දිය හරවා ඇළ මං දියේ සැතපුම් ගණන් දිය ගෙන ගොස් කළ ජල කළමාණාකාරිත්වයත්, ඊට යොදාගත් ශිල්පීය ඥාණයක් වෙන කිසි දේශයකට දෙවෙනි නොවේ. "බිසෝ ‍කොටුව" වැනි අපටම ආවේනික ක්‍රමවේදයන් ලොවට දායාද කිරීමට පුරෝගාමී වූවෝය, අපගේ ශිලපීහු.

එහෙත් වසර 2500කට පසු අද අපේ හැදියාව, නිර්මාණශීලිත්වය, සශ්‍රීක බව, පිළිබඳව කතා කිරීමට ඇත්තේ මොනවාද? එදා ඒ දෙයින් ලොව මුලටම සිටි අපගේ සිතුවිලි කොහේද අද? ඒ නිර්මාණශිලිතවයට කුමක් වීද? රටණය ගැති බවෙන් මිදෙන්නේ කවදාද? පරගැති චින්තනය පහකර ගන්නේ කෙළසින්ද ?

සිංහ ධජය සෙවනේ සිංහයන් ‍මෙන් වැජඹුන සිංහයන්ගේ අතීතාවලෝකනය තුළින් අප සිතා බැලිය යුතු කාරණයක් වෙයි. සරු දෙරණේ සරු පසින් සැදී පළ වළඳා ඉන් වඩවාගත් රන් කිරෙන් රුහිරය තුළට කා වැදුනු අපගේ හැකියාවන් අද කොහේද? ඒ රුහිරයෙන් පණ පෙවුණු චින්තන රටාවන්ට සිදු වූයේ කුමක්ද? ඒ රුහිරයෙන් වැඩුණු සිරුරේ සවිය දියව ගියේ කෙළෙසින්ද?

"යටත් විජිතවාදය ", "විවෘත ආර්ථිකය ", ‍ගෝලීයකරණය" වැනි සුපුරුදු පිළිතුරු ඉහත පැන වලට ඉදිරිපත් වීම සාමාන්‍ය කාරණයක් බවට පත්වී ඇත්තේය. වසර තිහක් පුරා පැවති ත්‍රස්තවාදයද ඊට එකවන තවත් හේතුවකි.

නමුත් මේ වන විට අපි මේ වට පිටාවෙන්ගෙන් මිදී ඇත්තෙමු. ඉතිරිව ඇත්තේ ගෝලීයකරණය පමණකි. ගෝලීයකරණය හමුවේ අපගේ පැරණි හපන්කම් තක්සේරු කෙරෙන්නේ කෙළෙසින්ද? ඒවා අලෙවි කර ගන්නේ කෙළෙසින්ද? අලෙවි කර ගන්නා දෙයින් රටක්, ජාතියක් වශයෙන් නැගී සිටීමට හැකිද? එසේ නම් ඊට අදාල මාර්ග කවරේද?

අපගේ අතීතයේ ප්‍රෞඩත්වය අවලෝකනය කෙ‍රෙමින් කෙරෙන සිංහාවලෝකනයේදී නිතැනින්ම සිතට නැගෙන්නා වූ සිතුවිලියි ඒ. යටත් විජිත සමයේදී අප සිත්වලට රිංගවන ලද කසළ ‍සෝදා හැරිය හැකි වේ නම් ?, විවෘත ආර්ථිකයෙන් අපේ ලෙයට මුහු වූ විෂ වෙන් කොට ඉවත් කළ හැකි නම්? ත්‍රස්තවාදී සමයේ අප - අප අතර ඇති වූ පටු හැඟුම් දිය කළ හැකි නම්? එදාටයි ගෝලීයකරණයේ නියම පල අප හට ලැබිය හැකි වන්නේ.

ශ්‍රී ලංකාද්වීපය කරවන ලංකාධිනායකයන් කවුරුන් හෝ වේවා, මේ පිළිබඳව සිතා බැලීමට කාලය එළැඹ තිබේ. මව් බිමෙන් බැහැරව සිටියද ඒ වෙනුවෙන් අපහටද කළ හැකි දෙයක් වෙයි. ඒ හැකි පමණින් ඒ සඳහා මව් බිමේ වග කිවයුත්තන් දැනුවත් කිරීමයි: උනන්දු කරවීමයි: සහයෝගය දීමයි. ගෝලීයකරණයත් සමගින් අතිනත් ගෙන පැමිණි තාක්ෂණික දියුණුව ඒ සඳහා පැමිණි කදිම පිටිවහලක් නොවේද? අන් රටවල වස විෂ වෙනුවට ඒවායේ යහපත් දේ මව් බිමට යොමු කරවමින් අප ලද නිදහස් අධ්‍යාපනයේ ණය සුළු වශයෙන් හෝ ගෙවා දැමීමට උත්සාහ කිරීම අපගේ යුතුකමක් නොවේද?

 

 

Last modified on Saturday, 01 March 2014 10:53
සිසිර දිසානායක

වරලත් සිවිල් ඉංජිනේරු,
ට්‍රැෆික් ඉංජිනේරු විද්‍යාපති,
ප්‍රවීණ ගීත රචක, චිත්‍ර ශිල්පි හා 
ඹ්ස්ට්‍රේලියාවේ සිංහල ලියුම්කරු.