විද්‍යාත්මක හණමිටි දැනුම

Monday, 10 February 2014 00:00 Written by  Published in Nimnaya

හණමිටි දැනුම යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පැරැණ්ණන් සතුවූ දැනුමයි. මෙම දැනුමම “දේශීය, “සාම්ප්‍රදායික යන විශේෂණ පද වලින්ද හැඳින්වේ. හණමිටි දැනුම විද්‍යාත්මක නොවන ග්‍රාම්‍ය දැනුමක් බවත්, එය සැබෑ දැනුමක්, නැතහොත් එකම නිවැරදි දැනුම යනුවෙන් ඉදිරිපත් කෙරෙන බටහිර විද්‍යාව වැනි දැනුමක් නොවන බවත් සාමාන්‍ය ව්‍යවහාරයේ ප්‍රචලිත මතයයි. “හණමිටිය කර තබා ගෙන යනවා යන උපහාසය මුසු යෙදුම භාවිතා වන්නේ පැරණි දැනුම භාවිතා කරන අය හෑල්ලුවට ලක් කිරීමටයි.

 

බටහිර විද්‍යාත්මක දැනුම අනෙකුත් දැනුම් පද්ධති වලට වඩා උසස් යැයි පැවසෙන්නේ එම දැනුම ගොඩ නැගීමේදී “විද්‍යාත්මක විධික්‍රමය යනුවෙන් හැඳින්වෙන ක්‍රමවේදයක් භාවිතා කරන නිසා යැයි පැවසෙයි. හණමිටි දැනුම යැයි කියමින් බැහැර කෙරෙන දැනුම ගොඩ නැගීමේදි මෙබඳු විධික්‍රමයක් අනුගමනය නොකලේද? ඒ ගැන විමසුමක් කිරීම මෙම ලිපියේ අරමුණයි. (විද්‍යාත්මක විධික්‍රමය එකම නිවැරදි ක්‍රමය යැයි පිළිගැනීමක් මින් අදහස් නොකරන බවත්, පවතින තත්ත්වය තුළ හණමිටි යැයි කියන දැනුම ගැන විශ්ලේෂණයක් කිරීම මෙහි අරමුණ බවත් ප්‍රථමයෙන් සඳහන් කල යුතුය. තවද, සිත දියුණු කර ගත් භාවනායෝගීන් අත් කරගත් ප්‍රත්‍යක්ෂ දැනුම හරහා ද අපේ පාරම්පරික දැනුම පෝෂණය වී තිබුණද මෙම ලිපියෙහි අරමුණ ලෞකික ක්‍රම හරහා අපේ අතීත සමාජයේ නිර්මාණය වුනු දැනුම පිළිබඳ සාකච්ඡා කිරීම බවද පැවසිය යුතුය.)

 

ප්‍රථමයෙන් “විද්‍යාත්මක විධික්‍රමය යනුවෙන් හැඳින්වෙනනේ කුමක්දැයි සලකා බලමු. මෙම ක්‍රමයේදී මුලින්ම යමි කිසි ප්‍රපංචයක් දෙස විවෘත මනසකින් බලා ඒ පිළිබඳ නිරීක්ෂණ, පරීක්ෂණ හා සම් පරීක්ෂණ (control experiments) කල යුතු වේ. පසුව ඒවා මත පදනම්ව අදාළ ප්‍රපංචය විස්තර කිරීමට යොදා ගත හැකි යම් කිසි කල්පිතයක් (hypothesis) ගොඩ නැගිය යුතු වේ. තෙවනුව එම කල්පිතය යොදා ගෙන, යම් කිසි න්‍යායයක් (ඇරිස්ටෝටලීය ද්වීකෝටික න්‍යාය වැනි) මත පිහිටා තර්ක කරමින් යම් යම් නිගමන වලට එළඹිය යුතු ය. නැවතත් මෙම නිගමන අනුව නිරීක්ෂණ, පරීක්ෂණ හා සම් පරීක්ෂණ සිදු කෙරේ. පසුව ලැබෙන ප්‍රතිඵල, එළඹ ගත් නිගමන හා සංගත (consistent) වේ නම් කල්පිතය ප්‍රවාදයක් ලෙස සලකනු ලැබේ.

 

 

මෙම ක්‍රමවේදය අනුගමනය කිරීමේදි දියුණු විද්‍යාගාර, සියුම් උපකරණ ආදිය යොදා  ගැනේ. එසේම පරීක්ෂණ හා පාලක නියැදි ක්‍රමානුකූලව තෝරා ගෙන, නැවත නැවත පරීක්ෂණ හා නිරීක්ෂණ පවත්වමින්, ඒවා සියල්ලේම දත්ත වාර්තා නිසි පරිදි පවත්වා ගනිමින් අවසානයේදි විවිධ සංඛ්‍යාන ක්‍රමවේද යොදා ගනිමින් එම දත්ත විශ්ලේෂණය කර නිගමනයන්ට එළඹේ. මෙම පරීක්ෂණ ඇතැම් පුද්ගලයන් හෝ සංවිධාන වල මුල් වීමෙන් යම්කිසි කාල පරිච්ඡේදයක් පුරා සිදු කිරීමෙන් අනතුරුව එක් එක් ප්‍රවාද එම පුද්ගලයන් ගේ හෝ සංවිධාන වල නමින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබේ. මෙම පර්යේෂණ වාර්තා සාම්‍ය සමාලෝචනයට (peer review) ලක් කිරීමද අවශ්‍ය අංගයක් ලෙස සැලකේ. උදාහරණ ලෙස බටහිර භෞතික විද්‍යාවේ විවිධ පුද්ගලයන් නමින් නම් කර ඇති නියමයන්  ද, බටහිර වෛද්‍ය විද්‍යාවේ විවිධ අය විසින් සොයා ගත්තා යැයි කියන ඖෂධ හා ප්‍රතිකාර ක්‍රමද සඳහන් කල හැකිය.

 

මෙහිලා අප විසින් නැගිය හැකි ප්‍රශ්න කිහිපයක් වේ. විද්‍යාත්මක යැයි කිව හැකි දැනුමක් නිර්මාණය කිරීමේදි ඒ සඳහා යම්කිසි ප්‍රමිති තත්ත්ව යටතේ ඇති  විද්‍යාගාරයක් යොදා ගැනීම අත්‍යාවශ්‍යද? මෙම පරීක්ෂණ සඳහා විශේෂිත, සංකීර්ණ උපකරණාදිය නැතිවම බැරිද? අදාළ දැනුම පිළිබඳ මූලික සංකල්පය (නැතිනම් කල්පිතය) මුලින්ම ඉදිරිපත් කළ පිළිගත් පුද්ගලයෙකු හෝ සංවිධානයක් තිබිය යුතුමද? එම පරීක්ෂණ වල ප්‍රතිඵල වාර්තාගත වී තිබීම අත්‍යාවශ්‍යද? වෙනත් විධියකට පවසනවා නම්, බටහිර සම්මත කර ඇති ක්‍රම වේදයක් සූප ශාස්ත්‍ර වට්ටෝරුවක් අනුගමනය කරන්නාක් මෙන් ඒ පොත් වල ඇති අයුරින්ම අකුරක් නෑර පිළිපැදීමෙන් හැර විද්‍යාත්මක යැයි කිව හැකි දැනුම නිර්මාණය නොවන්නේද?

 

අනෙක් අතට, එළමහන් පරිසරය නැමැති විද්‍යාගාරයේදී ඉතාමත් සරල උපකරණ ඇතිව හෝ නැතිව කෙරෙන නිරීක්ෂණ මගින් ගොඩනැගෙන දැනුම විද්‍යාත්මක නොවේද? මමත්වය නොමැති, අනිත්‍ය දහමක් අදහන සංස්කෘතියක මිනිසුන් විසින් කතෘ අඥාතව (එනම් දැනුම සොයා ගත්තා යැයි කියන්නෙකු නොමැතිව) ගොඩ නගන දැනුම නියම දැනුමක් නොවේද? එම දැනුම් ගොඩනැගීමේදී ද “විද්‍යාත්මක විධික්‍රමය යැයි කියන ක්‍රමවේදයෙහි මූලික අංග සපුරා තිබිය නොහැකිද? මෙහිදී “මූලික අංග යනුවෙන් අදහස් කෙරෙන්නේ පරීක්ෂණ, නිරීක්ෂණ හා සම් පරීක්ෂණ නැවත නැවත කිරීම, එම ප්‍රතිඵල මත පදනම්ව විවිධ නිගමන වලට එළඹීම ආදිය යි. විද්‍යාගාර හා උපකරණ භාවිතය, දත්ත වාර්තාගත වී තිබීම හා යම් දැනුමක් නිර්මාණය කළ නැතහොත්  “සොයා ගත්තා යැයි කිවහැකි පුද්ගලයෙකු හෝ ආයතනයක් තිබීම ආදිය ද්විතීයික නැතහොත් අත්‍යාවශ්‍ය-නොවන අංග ලෙස සැලකිය හැකිය. මේ අර්ථයෙන් ගත්කල, අද “හණමිටි දැනුම යැයි බැහැර කෙරෙන අපේ පාරම්පරික දැනුම ද විද්‍යාත්මක යැයි කිව හැකිය.

 

අපි උදාහරණයක් සලකා බලමු. අපේ ගොවිතැන ආශ්‍රිතව ගොඩ නැගුණු විශාල දැනුම් පද්ධතියක් ඇත. යල සහ මහ යනුවෙන් කන්න දෙකක් වගා කිරීමට අපේ ගොවියන් හුරුවුනේ වැසි රටා පිළිබඳ නිරන්තර නිරීක්ෂණයෙන් ලබා ගත් දැනුම හරහා ය. බීජ පැළ කිරීමට සුදුසු කාල සීමාවන්, පලිබෝධ පාලනයට යොදා ගන්නා ධාර්මික ක්‍රමවේද ආදී දෑ ගොඩ නැගුනේ නිරන්තර පරීක්ෂණ, නිරීක්ෂන ආදිය හරහා නොවේද? කාලගුණ රටා පිළිබඳ දැන ගැනීම ට චන්ද්‍රිකා ඡායාරූප, විවිධ මිනුම් උපකරණ ආදිය යොදා ගැනීම අත්‍යාවශ්‍යද? පරිසරය හා නිබඳව බද්ධ වී සිටි අපේ පැරැණ්ණන් සුළං රටා හා සතුන්ගේ චර්යාවල වෙනස්කම් ආදිය ඔස්සේ ළඟ එන වර්ෂාව පිළිබඳව දැන ගැනීම විද්‍යාත්මක නොවේද?

 

ගවයන්ගේ සිරුරේ කොහොඹ තෙල් ආලේපනයෙන් කිනිතුල්ලන් වැනි සතුන් පාලනය කිරීමට හැකි බව අපේ පැරැණ්ණන් දැන ගන්නට ඇත්තේ කෙසේද? එය මෙසේ යැයි අපට අනුමාන කල හැකිය. මුලින් වූ අහඹු සිද්ධියකින් කොහොඹ තෙල් ගෑවුනු එක්තරා ගවයෙකුගේ සිරුරේ සිටි කිනිතුල්ලන් ගවයා හැර යන්නට ඇත (මෙම ක්‍රමය කිනිතුල්ලන් ඝාතනය කරන අධාර්මික එකක් නොවේ). ඒ බව නිරීක්ෂණය කල යම් පුද්ගලයෙක් මෙම ප්‍රතිඵලයට හේතුව කොහොඹ තෙල් යැයි උපකල්පනය කරන්නට ඇත. එම කල්පිතය මත සිට ඔහු (හා ඇතැම් විට තවත් සමකාලිකයන්) තව තවත් ගවයන්ගේ සිරුරේ කොහොඹ ආලේප කර (පරීක්ෂණය) කිනිතුල්ලන් පාලනය වේ දැයි නිරීක්ෂණය කරන්නට ඇත. ඇතැම් විට එකම ගව පට්ටියේ සිටි සමහර ගවයන්ගේ කොහොඹ තෙල් ආලේපනය නොකර තබා (පාලක පරීක්ෂණය) උන්ගේ ශරීර වල කිනිතුල්ලන් අඩු නොවන බවටද නිරීක්ෂණ කරන්නට ද ඇත. ඉන් අනතුරුව කොහොඹ තෙල් වලින් කිනිතුල්ලන් පාලනය කර හැකි බව ට නිගමනකට එළඹෙන්නට ඇත. පසුව මෙම දැනුම පාරම්පරිකව සන්නිවේදනය වුනු දැනුම් ගොන්නට එකතු වන්නට ඇත. මේ සිද්ධියට අදාළ මුල් පුද්ගලයා ගේ නම ධර්මදාස යැයි ද ඔහු බෞද්ධ යැයි ද සිතමු. ධර්මදාස මෙම දැනුම “සොයා ගත්තා යැයි ඉතිහාස ගත වීම පිළිබඳ කිසිම තැකීමක් නොකරන්නට ඇත්තේ සසර දුක් කෙළවර කිරීමට එමගින් කිසිම රුකුළක් නොලැබෙන නිසා විය යුතුය. මෙම උදාහරණයම කල්පිත එකක් නමුත් ඉන් අප පවසන්නට උත්සාහ කරන්නේ අපේ “සම්ප්‍රදායික යැයි කියන දැනුම ගොඩ නැගුණු ක්‍රමයත් වත්මනෙහි විද්‍යාත්මක යැයි කියන බටහිර දැනුම ගොඩ නැගුනු ක්‍රමයත් හරයෙන් සමාන බවයි.

 

තවත් උදාහරණයක් ලෙස, යමිකිසි අමනුස්ස බලයකට බියවූ පුද්ගලයෙකු සලකා බලමු. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව නම් මෙම තත්ත්වය මානසික රෝගයක් ලෙස සැලකෙන අතර ඒ සඳහා විවිධ ඖෂධ හා චිකිස්තක ක්‍රම භාවිතා කර අදාළ රෝගියා සුවපත් කිරීමට කටයුතු කෙරෙනු ඇත. නමුත් අපේ පැරැණ්ණන් විසින් මෙම තත්ත්වය යමිකිසි අමනුස්ස දෝෂයක් නිසා සිදුවී ඇති සේ සලකා ඒ සඳහා යම්කිසි ශාන්ති කර්මයක් කිරීම මගින් එම රෝගියා (නැතහොත් ආතුරයා) සුවපත් කරනු ඇත. මෙම ක්‍රම දෙකෙහිම අදාළ රෝග තත්ත්වයට හේතු ලෙස යම් කිසි කරුණක් ඉදිරිපත් කෙරෙන අතර ඒ අනුව යමින් යම් කිසි ප්‍රතිකාරයක් ලබාදී එම රෝගය සුවපත් කෙරේ. ක්‍රම දෙකම ඒ ඒ සන්දර්භයන් හිදී සංගත බවක් දක්වයි. එසේ නම් එක් ක්‍රමයක් පමණක් විද්‍යාත්මක යැයි පවසා අපේ ක්‍රමය බැහැර කරන්නට අපව පුහුණු කෙරෙන්නේ ඇයි? නොඑසේ නම්, බටහිර ක්‍රම අනුගමනය කරමින් තොවිල් පවිල් ආදිය “විද්‍යාත්මක පදනමක් ඇති දේවල් බවට ඔප්පු කල නොහැකි නම් ඒවා හණමිටි අදහස් ලෙස බැහැර කළ යුත්තේ ඇයි?

 

කාලගුණය/දේශගුණය ආදිය පිළිබඳ අපට වූ පැරණි දැනුම ආශ්‍රයෙන් අපේ දැනුම් පද්ධති වල ඇති තවත් එක් වැදගත් ලක්ෂණයක් විස්තර කළ හැකිය. එනම් එම දැනුම යම්කිසි දෙයක් සිදුවන බව දැන ගැනීමට පමණක් සීමා වී ඇති බවයි. එතැනින් එහාට ගොස් යම් කිසි දෙයක් සිදුවන්නේ ඇයි දැයි දැන ගැනීමට අපේ පැරැණ්ණන් වෙහෙසී නැති බව යි. මේ කරුණ වඩාත් අදාළ වන්නේ ස්වාභාවික සංසිද්ධි සඳහා යැයි පැවසිය හැකිය. උදාහරණයක් ලෙස, වසරේ යම් යම් කාල වලදී යම් යම් ප්‍රදේශ වලට වැසි ඇති වන බව දැන ගත්තත් එසේ වසින්නේ ඇයි දැයි යන ප්‍රශ්නයට පිළිතුරක් නිර්මාණය කිරීමට කරදර නොවීම දැක්විය හැකිය. බටහිර ක්‍රමය තුළ නම් එසේ වැසි වසින්නේ ඇයි දැයි කියා පැහැදිලි කිරීමටද යම් කිසි ප්‍රවාදයක් (කතන්දරයක්) නිර්මාණය කෙරේ. ඒ සඳහා ඔවුන් මෙහෙයවන්නේ සොබාදහම “පාලනය කර “ජය ගැනීමට හැකි දෙයක් බවට ඔවුන්ගේ චින්තනයේ ඇති ආකල්ප විසින් බව අපගේ අදහසයි. සොබාදහම “ජය ගැනීමට නම් එය ක්‍රියා කරන ආකාරය දැන ගත යුතු බව ඔවුන්ගේ ආකල්පය බව අපගේ වැටහීමයි.

 

අවසාන වශයෙන්, පැරැණ්ණන් විසින් අපට උරුම කර ඇති දැනුම අද වන විට අධිපතිවාදී දැනුම බවට පත්ව ඇති බටහිර ආකෘතිය අනුව විද්‍යාත්මක යැයි කිව හැකි ක්‍රමවේදයක් හරහා ගොඩ නැගුණු එකක් බවත්, ඒ හණමිටි දැනුමක් යැයි උපහාසයට ලක් කර බැහැර කර යුතු නැති බවත් පැවසිය හැකිය. එසේම එම දැනුම පරිසරය “ජය ගැනීමට  නොව එය වටහා ගැනීමට යොදා ගැනුණු බවත් එම දැනුම් “සොයා ගත්තා යැයි යනුවෙන් පුද්ගල නාම සඳහන් නොවන්නේ මමත්වයෙන් තොර වූ සමාජයක ඒ නිර්මාණය වී ඇති නිසා බවත් පැවසිය හැකිය.

 

Last modified on Monday, 07 April 2014 12:33
ඉෂාන් ද සිල්වා

ඉංජිනේරු විද්‍යාවේදී - ගෞරව