සුභාවිත ගීතය

Monday, 10 February 2014 00:00 Written by  Published in Nimnaya

සුභාවිත ගීතයක ප්‍රසාද මාධූර්යය - "මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ"

බුදු රජාණන් වහන්සේගේ අධ්‍යාත්ම චරිත රළු කළු ගලට නැංවූ සිංහල ප්‍රතිමා කරුවා එය නිර්මාණය කෙළේ ස්වාධීන කලා නිර්මාණ ශිල්පියකු ලෙස විනා කිසිම ප්‍රතිමා කලාවක ආභාෂය ලබා ගත්තකු ලෙස නොවේ.  ඔහු විසින් බිහි කරන ලද එකී විශිෂ්ට ප්‍රතිමා කර්මය වූ කලී බුදු රජාණන් වහන්සේගේ අසම සම ගුණ මහිමය සිත් පිත් නැති සෙල් පව්වකින් වුවද මතු කර ගත හැකි බව ලොවට පසක් කර දීමකි.

 

සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 247ක් ගිය තැන මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට එවක සිටි රටා වැස්සන්ට උගන්වා වදාල නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් අධ්‍යාත්මය පුබුදු කර ගත් සාහිත්‍ය කලා කරුවන් අනුරපුර යුගයේ මුල් කාලයේ සිටම ස්වතන්ත්‍ර සිංහල උරුමයක ශික්ෂණයක් ලැබූ අයුරු ඔවුන්ගේ නිර්මාණ විමසන විට පෙනීයයි.එකී විශිෂ්ට නිර්මන්යන්හී අගය වඩාත් කැපී පෙනෙන්නේ වෙනත් දේශයන්හී සමකාලීන නිර්මාණයන් සමඟ සසඳන කල්හිය.තදාසන්න වකවානුවේ මහායානයේ ආභාෂය ලැබූ හින්දු ශිල්පීන් නිර්මාණය කළ සියලුම ප්‍රතිමා කලාවන් තුලින් නිරූපණය වන්නේ කෙලෙසුන් නැසූ බුදු රජාණන් වහන්සේගේ අධ්‍යාත්ම රූපකාය නොව කෙලෙස් සහිතයකුගේ සන්තුෂ්ටිය පළ කරන මඳ සිනා සහිත බාහිර රූප කායේ සුන්දරත්වයයි.

 

බෞද්ධ සාහිත්‍යටත් ප්‍රතිමා කලාවටත් ස්වාධීනව වැඩී විකාශනය වීමට උචිත බාහිර හා අධ්‍යාත්ම පරිසරයක්,මිහිඳු මහා රහතන් වහන්සේගේ යුගයේ සිට අවරුදු දහසක් පමණ කාලයක් ලංකාවේ බලපැවැත්නේය.ඒ කාලය තුළ එනම්, රණකාමී හින්දු සංස්කෘතික සම්ප්‍රදායට හිමි කලාත්මක සුන්දරත්වයෙන් අනූන වීය. එහි ඇති විශිෂ්ට නිර්මාණයක් වන මහමෙව්නා උයනේ සමාධි ප්‍රතිමාවත් ඉපැරණි ධම්ම චක්ක ගේය ලෙස ඇතැමුන් හඳුන්වන නටඹුන් අතර ශේෂව පවත්නා සඳකඩ පහණත් ලොව බිහි වූ ඇති ශ්‍රේෂ්ඨ සෙල්මුවා නිර්මාණ වෙයි.ඉන් ඉඳුරාම නිරූපණය වන්නේ බුදු දහමින් සුපෝෂිත වූ ජනකායගේ ස්වාධීන අධ්‍යාත්ම සුන්දරත්වයයි. 

උතුම් සම්බෝධිය සාක්ෂාත් කොට වදාළ බුදු රජාණන් වහන්සේගේ සමාධි චිත්ත ස්වභාවය කෙබඳුදැයි පැවසිය හැක්කේ තථාගත සම්මා සම්බුදුවරයකුටම පමණි.එසේ වුවද බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය නොසැලෙන ප්‍රසාදයකින් යුතුව අසා දැන මැනවින් සිතේ පිහිටුවා ගත් කෙනෙකුට උන්වහන්සේ දැකීම එතරම් අසීරු කරුණක් නොවේ.‘යමකු ධර්මය දකින්නේද හෙතෙම මා දකින්නේ යයි’ බුදු රජාණන් වහන්සේම දේශනා කළ සේක.බුදු දහම දඹදිව පැතිර ගිය බුද්ධ කලීන වකවානුවේ මෙන්ම් ඉන් සියවස් තුනකට පසුව බුදු දහම ලක්දිව පැතිර ගිය යුගයේද ජනයා බුදු වදනක් ඇසු සැණින් මඟ ඵල ලබන්නටත් චිත්ත ප්‍රසාදයටත් පත් වූහයි කියැවෙන තොරතුරු ඊට කදිම නිදසුනක් වෙති.අනුරාධපුරයේ දී මිහිඳු මහා රහතන් වහන්සේ දේශනා කළ බුදු වදන් අසා නුවණ ලැබූ දකුණේ මාගම විසූ මහානාග යුවරජතුමා ගලක කොටා තැබූ උදානයම ඊට සාක්ෂියකි. 

          අපරිමිත ලොකෙහි බුධ

          සමෙනති අඨාන පරම දුලබෙ 

          සමඤුත පතෙ අනුතර සතෙ

          මහ සරණ ලොකවක බුධ නම සයභු

‘අපරිමිත වූ ලෝකයෙහි බුදු රජාණන් වහන්සේට සමාන කළ හැකි උතුමකු නැත්තේය.  උන්වහන්සේ දැක ගැනීම පරම දුලබය.  සර්වඥවූත් අනුත්තරවූත් මහා සරණය වූත් බුදු රජාණන් වහන්සේ නියත වශයෙන්ම ස්වාම්භූ වන සේක.’

කළු ගලක් මට සුමට කොට අනුත්තර වූ ස්වාම්භූ බුදු ගුණය වදනින් එහි මූර්මත් කොට දැක්වූවා සේම,සම්මා සමබුද්ධත්වයට පත් වූ සිද්ධාර්ථ ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ සමාධි චිත්ත ස්වභාවය, සිත් පිත් නැති කළු ගලකට ආරූඪ කිරීමට හෙළ කලාකරුවා සමත් වුඋයේ දැක ගැනීමට පරම දුලබ වූ බුදුරුව බුදු රජාණන් වහන්සේගේ දහම තුළින් ඔහු දැක තිබුණු හෙයිනි.ඔහු අතින් සමාධි බුදු රුව නිර්මිත වූයේ අනන්ත බුදු ගුණ සිහි කිරීමෙන් ඔහුගේ සිත් ද සමාධි සුවයට ලංවූ නිසා විය යුතුය. 

ව්‍යවහාර වර්ෂ සිව්වැනි සියවස පමණ කාලයේ දී මහමෙව්නා උයනේ නිසසල පරිසරයක පිහිටුවන ලද මෙම සමාධි ප්‍රතිමාව ලෝකයේම මෙතෙක් බිහිව ඇති අද්වතීය බුද්ධ ප්‍රතිමා කර්මය ලෙස වියත්හු සලකති.මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් නිවන් මුහුනුවර වශයෙන් හඳුන්වනු ලැබූ මෙම සමාධි ප්‍රතිමාව දෙස වරක් පණ්ඩිත් ජවහර්ලාල් නේරු තුමා ඇසිපිය නොහෙළා බොහෝ වේලාවක් බලා සිටියේ දැහැනකට සම වැදුණක් මෙනි.  මෙම උත්තම ප්‍රතිමා කර්මය වූ කලී බුදු රජාණන් වහන්සේගේ ලෝකෝත්තර ප්‍රඥාව හෙවත් නිර්මාණය ඇසට හා සිතට හසු කරවන උත්කෘෂ්ට බුද්ධෝපහාරයකි. 

මෙම අති විශිෂ්ට ප්‍රතිමා නිර්මාණය ලොවට දායාද වූයේ, බුදු රජාණන් වහන්සේගේ සමාධි ගුණය අවබෝධ කොටගත් ශිල්පියාගේ අන්තර්ඥානයෙහි පහළ වූ ශ්‍රද්ධා මහිමයේ ප්‍රතිඵලයක් වශයෙනි.ඍජුව පිහිටි උඩු කය සහිත ප්‍රතිමාවෙහි උකුළ වසා රැඳුණ සිවුරුපටෙහි ගෑවෙන නොගෑවෙන සේ වම් අත මත රැඳුණ දකුණු අත පිහිටුවා ඇත්තේ අති සියුම් අධ්‍යාත්ම සංයමයකිනි.කෙලෙසුන් හා මමත්වය නැසීමෙන් සමාධියට සම වැඳුණ විරත්ත සංඥා විඥාන සහිත බුදු රජාණන් වහන්සේගේ ප්‍රඥාවෙහි සියුම් බව හා අධ්‍යාත්ම ප්‍රමුදිත බව ප්‍රතිමාවෙහි අඩවන් දෙඇසින්, මුහුණින්, දෙකොපුලින් හා මුවින් පළවෙයි. 

එදවස විසූ කලාශිල්පියා රළු කළු ගලෙකින් මතු කොට ගත් සමාධි බුදු ගුණ වෑහෙන අධ්‍යාත්ම කාව්‍යය මෙදවස සුපහන් පද කැටයමක් බවට පත් කරන ලද්දේ ආචාර්ය ඩබ්ලිව්.ඒ.අබේසිංහයන් විසිනි.එම පද කැටයම හර්දයානන්දකර බුද්ධානුස්නති ගේයමය භාවනාවක් බවට පත් කළෝ ආචාර්ය පණ්ඩිත් අමරදේවයෝය. 

 

          අඩවන් වූ දෙනෙතින් ගලනා

          මෙත් මුදිතා කරුණා ධාරා 

          තෙමා තෙමා හද - ගලා ගලා යන

 

 

          ලොව්තුරු ගුණ මහිමේ

          මහ මෙව්නා උයනේ

          සමාධි බුදු පිළිමේ

          පිරී තිරී යන මහ වතුරක් සේ

          ගලා හැලෙන සිහිලැල් ගඟුලක් සේ

     

     ගිමන් නිවාලන මේ භව කතරේ

          නිවන් සදාලන බුදු ගුණ මහිමේ

          මහ මෙවුනා උයනේ

          සමාධි බුදු පිළිමේ

 

ගීතය රචනා කිරීමේ වෑයම අබේසිංහ කවියාණන් සඳහන් කළේ මෙපරිද්දෙනි.‘මා මේ ගීතය රචනා කිරීමෙන් වෑයම් කළේ සමාධි බුදු පිළිමය ගැන පමණක් කීමට නොවේ, බුද්ධ මහිමයද කියා පෑමටයි.  එයට මා උපකාර කොට ගත්තේ හෙළ කලාකරුවකුගේ මේ සුවිශේෂී නිර්මාණයයි.’

අබේසිංහයන් සඳහන් කරන පරිදි ගීතයෙන් කියැවෙන්නේ අචේතනික බුද්ධ ප්‍රතිමාවක් නොව ජීවමාන බුදු රජාණන් වහන්සේමය.අමරදේවයන්ගේ මධුර ගායන ස්වර සංගති හා එක්වන පද මාලාවන් ගෙන් නින්නාද වනුයේ ශ්‍රාවක සාව මණ්ඩලය සැදැහැ බැතියෙන්  වෙලා ගන්නා අනන්ත බුදු ගුණ මහිමයයි. 

බුදු රජාණන් වහන්සේගේ අඩවන් නෙත් සඟල වූකලී මූළු ලෝක සත්වයා වෙත පතළ අපරිමිත මහා කරුණා ගුණය නිරූණය කරන්නකි.  බුදු නෙතින් නිබඳව ගලා දිවෙන්නේ මෙත් මුදිතා කරුණා ගුණ දහරාවන්ය.  එය සියල් ලෝ සතුන්ගේ හදවත් තෙමා ගලා බසින ගඟුලෑල්ලකට උවම් කිරීම අතිශයෙන්ම උචිතය.  ඒ ගඟුලෑල්ලනම් ලොව්තුරු බුදුගුණ මහිමයමය.ගීතයේ දැක්වෙන තෙමා තෙමා ගලා ගලා යන ආදී අනුප්‍රසවත් වදන් කැටි හා දැවටුණු රස ලාව්‍යයෙන් පිරි ගායනය කන වැකෙත්ම බුදු රජාණන් වහන්සේගේ ජීවමාන රූපකය,මහමෙව්නා උයනේ රුක් සෙවණේ වැඩ සිටින්නාක් මෙන් බැතිබර ශ්‍රාවක සිතට නැඟෙන්නේ නිරායාසයෙනි. උන් වහන්සේගේ ලොව්තුරා ගුණ මහිමය හද තෙම ගලා බසින්නේ:

          පිරීතිරී යන මහවතුරක් සේ ය,

          ගලා හැලෙන සිහිලැල් ගඟුලක් සේ ය.

බුදු රාජාණන් වහන්සේගේ මෙත් මුදිත කරුණා ගුණ දහර හාත්පස අනවතරයෙන් පැතිරී යන මහ වතුරක් සේ ගලන්නේය.එය වනාහි කිසි බ්‍රහ්මයකුට, දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ වැලකිය නොහැක්කේමය.පොළෝතලය තෙමා පැතිර යන මහ වතුර අනතුරුව සිහිලැල් ගඟුලක්ව සදාකල්හිම ගලා හැලෙමින් භවය නමැති කතරේ ගිමන් නිවා සනසාලයි.එසේ භව ගිමන් නිවන්නට සමත්වන සම්බුදු ගුණ මහිමය අවසානයේදී නිර්වාණ ශාන්තිය සලසා ලන්නේය. 

මහමෙව්නා උයනේ සමාධි බුදු පිළිමය,නිර්වාණ වක්ත්‍රය හෙවත් නිවන් මුහුණුවර මේ යයි මුළු ලොව පෙන්වා දෙන්නා වූ ලොව අති විශිෂ්ටතම සෙල්මුවා ප්‍රතිමාවයි.  අනුරාධපුර යුගයේ මුල් සමයේ විසූ උදාර මුර්තිශිල්පියාගේ එම උතුම් ප්‍රතිමා නිර්මාණ කාව්‍යයට ජීවමාන අරුතක් සපයන්නට අබේසිංහ - අමරදේව සාහිත්‍ය කලා ශිල්පී සුසංයෝගය දැක්වූ පරිශ්‍රමය ලෝකවාසී බෞද්ධ ජනකායගේ සදා ගෞරවයට හේතු වන්නේය. 

 

 

Last modified on Friday, 03 November 2017 20:05
Dayapala Jayanetti

Former Deputy General Manager of National Housing Authority of Sri Lanka

Administrative Secretary of Martin Wickramasinghe Trust Fund