මට දෙන්න මගේ පුංචි කාලේ... Featured

Saturday, 01 March 2014 00:00 Written by  Published in Nimnaya

වෙල් ඉපනැල්ලේ දුව පැන, ගලා යන දිය කඩිත්තේ නලියන මසුන් දෙස බලා සිටි ඔබේ ළමා විය ඔබට අමතක වී නැතුවාට කිසිඳු සැකයක් නැත. ඒ, ගෙවුණු ළමාවිය මොන තරම් නිදහස් ව අර්ථවත් ව ගෙවුනේද කියා ඔබ සමහරක් විට සිතනවා ද විය හැකියි.  නමුත්, අද ඔබේ දරුවාට උරුම වී ඇත්තේ  එදාට වඩා හාත්පසින්ම වෙනස් වූ සංකීර්ණ, අවිවෙකී ළමා කාලයක් නොවේද?  සුන්දර, නිදහස් ළමා කාලයක අසිරියේ අයිතිය ඔහුගෙන් උදුරා ගත්තේ එදා ඒ සුන්දරත්වය නොවඩුව විඳි ඔබම නොවේද යන්න සිතීමට කාලය දැන් එළැඹී ඇත.  දරුවන්ගේ සුන්දර ළමා කාලය මව්පියන් විසින්ම ගොදුරු කරගෙන හමාරය. 

එදා සරල ජීවන රටාවකට හුරු පුරුදු වී සිටි මාපියෝ තම දරුවනට අකුරු කරවුයේ සැබවින්ම ඔවුන්ගේ ජීවිත සාර්ථක කර දීමට විනා අන් අයෙකු පරදා තම දරුවා  සමාජයේ ඉහල තලයක පිහිටුවන්නටම නොවේ. ඔවුනගේ එකම අභිලාශය වුයේ හුදෙක්ම තම දරුවා යහපත් දැකීමෙන් යුතුව, ඔහුගේ ජීවිතය පෙළගස්වා ගෙන  සතුටින් ජීවත් වනු දැකීම පමණි.  එබැවින්, මව්පිය ආශාවන් ඉෂ්ට කිරීමට එදා දරුවන්ට තරගකාරී ලෝකය හඹා යා යුතුව තිබුනේ කලාතුරෙකිනි. 

විභාග කේන්ද්‍රීය වර්තමාන අධ්‍යාපන රටාව තුල ජීවන වෘත්තියක්‌ ඉලක්ක කර ගත් විභාග රැල්ලකට හසු වී සිටින දරුවන්ගේ එකම අපේක්ෂාව වී ඇත්තේ විභාග ජයග්‍රහණයයි.  සෑම මවක් මෙන්ම පියෙක් ද බලපොරොත්තු වන්නේ තම දරුවා වෛද්‍ය, ඉංජිනේරු හෝ පරිපලන ගණකාධිකාරී වැනි උසස් වෘත්තියක නියැලෙමින් ගෞරවාන්විතව ජීවත්වෙනු දැකීමයි.  මේ නිසාවෙන්, තමන්ට ලඟාවීමට  නොහැකි වූ ඉලක්ක වෙත යෑමට තම දරුවා තරගයට පොළඹවයි; උදේ පටන් රෑ බෝ වෙනතෙක්ම අමතර පන්ති වෙත රැගෙන යයි.  දරුවා තුන වසරට පය තබත්ම ජනප්‍රිය පාසල් ලබාගැනීමේ තරගයට ඔහු යොමු කරවන්නේ දෙමව්පියන් විසින්මය. එයින් ද සෑහීමකට පත් නොවුණු තැන, අවසාන විභාගය සඳහා දිවා රෑ නොබලා තම  දරුවා පීඩනයට පත් කරනුයේ මාපියන්ද පීඩාවට පත්වෙමිනුයි.  

 

මෙසේ, තරගකාරී වූ විභාග ඉලක්ක කරගනිමින් විෂයන් කීපයකට මැදිවී සිටින දරුවා ඉන් පරිබාහිරව අතිරේක ක්‍රියාකාරකම් සඳහා නොපෙළඹේ. විනෝදාංශ වැනි අතිරේක දෙයකට ආශාව වී නමුදු,  ඒ සඳහා මිඩංගු කිරීමට කාලයක්‌ දරුවාට නැති තරම්ය. පාසල් නිවාඩු කාලය තුළදී වුව ද ඉලක්‌ක විභාග අතිරේක පන්තිවලට වැඩි කාලයක්‌ යෙදවිය යුතුවේ. මෙහි අනිසි ප්‍රතිඵලයක් ලෙස දරුවා විෂයය දැනුමට පමණක්‌ සීමා වී, බාහිර ලෝකය ගැන කිසිදු දැනුමක්‌ නැති දරුවෙක් බවට පත් වන්නේ දෙමව්පියන්ද නොදැනුවත්වමය. 

පුද්ගලයකුගේ ළමා කාලය අධි සංවර්ධන වේගයක්‌ සහිත අවධියක්‌ බව මනෝවිද්‍යාඥයෝ පවසති.  ළමයින් විවිධ හැකියාවන්ගෙන් හා කුසලතාවයන්ගෙන් අනූන බව විද්වත්හූ වැඩිදුරටත් පැහැදිලි කරති. මව්පියවරුන් කළ යුත්තේ, මෙම ශක්‌තිය අවදි කර ගැනීමට යහපත් නිශ්චිත උත්තේජනය ලබාදීම විනා යන්නන් වාලේ දරුවා ඇදගෙන යාම නොවේ.  මෙම ක්‍රියාවලියේදී පොතපත දැනුම පමණක්ම නොව තමා සහ තමා වටා ඇති ලෝකය ගැනත් අවබෝධයක් ලබා ගැනීමට දරුවා පෙළඹවීම අතිශය වැදගත් කරුණකි. 

සාම්ප්‍රදායික වශයෙන් ආසියාතික රටවල දූ දරුවන් මෙවන් තරගකාරී සමාජ සංස්කෘතියක් තුල නිබඳව මානසික ආතතියට ලක් වෙන බව කවුරුත් දන්නා රහසකි.  ඒ එසේ වූවත්, බටහිර රටවල සුදු දරුවනට මෙකී තරගකාරිත්වයෙන් තොර යම්කිසි පාලනයකින් යුතු ගුණාත්මක අධ්‍යාපනයක්  ලබා ගැනීමට කුඩා අවධියේ සිට හුරු කරවන බව ද කිව යුතුයි.   බොහෝ ආසියාතික දරුවන් මෙන් බටහිර දරුවන් යාන්ත්‍රික අධ්‍යාපන පුරුදුවලට යොමු නොවන්නේ අධ්‍යාපන ක්‍රියාවලියේ ඇති සජීවී සහ ක්‍රියාශීලී අත්දැකීම් නිසාවෙනි. 

යහළුවන් සමඟ වෙල් ඉපනැල්ලේ දුව පනිමින් මවුපියන් සමඟ කෙළිදෙළින් ගතකළ ඔබේ සුන්දර ළමා කාලය ආපසු එනවානම් කොයිතරම් සුන්දරදැයි ඔබට තවමත් සිතෙන්නේ ඒ සුන්දරත්වය සජීවීව අත්දුටුව නිසා නොවේද?  එසේනම්, මා පිය තුරුලේ සෙනෙහස ලබමින් ජීවිතය වටහා ගත යුතු දරුවා කුඩා කළ පටන් පාසලත් අමතර පන්තිත් අතර සිර වී ගෙවන කාලය අර්ථ ශූන්‍ය ලෙස නොපෙනුනද, එහි යම් පාලනයක් තිබිය යුතු බව වටහා ගැනීමට දෙමව්පියන්ට දැන් කාලය එළැඹී ඇත! 

Last modified on Thursday, 03 April 2014 11:33