Discussion with Sujeewa Gunarathne on "Kaala" - Sinhala Movie Featured

Sunday, 08 May 2016 00:00 Written by  Published in Australia News

Kaala - A Trembled Tranquillity of Tank Water

ඇතමෙක් දේශයට  පෙම් බැන්දෝය
ඇතමෙක් දේශයට  වෛර කළෝය
දේශයට පෙම් බඳින්නන් හා වෛර කරන්නන්
අතීතයේ පමණක්  නොව වර්තමානයේද  නැතුවා නොවේ ය
මේ  
මසැසින්  නොව මනැසින් සැරිසරන්න කාලයයි !
අධ්‍යක්‍ෂකතුමාගේ  පණිවිඩය  එයයි. 

ඓතිහාසික පුරාවෘත්තයක්  " කාල " නමින් තිරයට එනවා. එහි අධ්‍යක්‍ෂ සුජීව ගුණරත්න මහතා සමග පිළිසඳරක යෙදෙන්න මට අවස්ථාවක් ලැබෙනවා.

හේමමාලි:
ඔබගේ කුළුඳුල් වෘතාන්ත චිත්‍රපටි අධ්‍යක්ෂණය "කාල".  අපි මුලින්ම චිත්‍රපටිය ගැන කතා කරමු. චිත්‍රපටියක්  නිර්මාණය කරන්න ඔබේ හිතේ ඒ වස්තු බීජය හට ගත්ත තැන,  එතන ඉඳලම පටන් ගත්තොත් හොඳයි නේද?

සුජීව ගුණරත්න:
ඔව් ඒක හොඳයි. කතා සාරාංශය කිව්වොත් ධාතුසේන රජතුමා සොළීන් පරදවා රට එක් සේසත් කර පාලනය ගෙන යන වකවානුව පසුබිම් කර ගත් කාල සීමාවේදී, කලා වැව  නිර්මාණය වීමට හේතු වූවායැයි සැලකෙන ජනප්‍රවාද, කතාවට පසුබිම් වෙනවා. තම ජීවිතය පරදුවට තබා කලා වැවේ ජලය කාන්දු වීමක් නවත්තනට ගොස් අනෙක් මිනිසුන් වෙනුවෙන් ජීවිතය බිලිදුන් වීර චරිතය පසු කලෙක "කඩවර දෙවි " නමින් පහළ වූ බව ජනප්‍රවාදයකි. මෙම ඓතිහාසික පුවත සාමන්‍ය කතන්දරයක් කියනවට වඩා සිනමාත්මකව හා පරපුරකට හිතන්න යමක් දෙන්න මම උත්සාහ කළා.  ඔබට  චිත්‍රපටිය නැරඹුවට පසුව වැටහේවි මෙය කතන්දර කලාවක් නොවන වග.

මම ඉපදුණ දේශයට පෙම් බඳින්නෙක්. ඒ වගේම අද වෙනකොට මේ හෙළදිව ප්‍රෞඩ ඉතිහාසයක් වළලා දමලයි තියෙන්නේ . මේ ඉතිහාසය හරිම රසවත්. හෙළයෙකු වීම ගැන ගාම්භීර හැඟිමක් මා තුළ තියෙනවා.  කලා අධ්‍යක්ෂකවරයෙක් හැටියට වසර ගණනාවක අත්දැකීම් තුළින් මගේ රටේ වීරත්වය මතු කරන රට ගැන කැක්කුමක්, උත්තේජනයක්  ඇති කරන කතා ප්‍රස්තුතයක් මගේ කුළුඳුල් අධ්‍යක්ෂණය විය යුතුයි කියන අදහස තමා මේ චිත්‍රපටියේ කළලය. කාලයක් තිස්සේ මේ කළලය යටි හිතේ තැන්පත් වෙලා තිබුණා. මෙහෙම ඉන්න අවස්ථාවක මට ඩී.කේ. ආටිගල මහතා දෙනවා මේ තිරකතාව. ඔහු ශ්‍රී ලංකාවේ වැඩිම ළමා නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ පොළොන්නරුවෙන් බිහිවුණු සුවිශේෂී නිර්මාණකරුවෙක්. මෙය ඔහුගේත් ප්‍රථම චිත්‍රපටි තිර කතාව වුණත් මා බලාපොරොත්තු වෙච්ච ආකල්ප සියල්ල මෙහි  අඩංගු වෙලා තිබුණා.

පිටපතට අදාල තොරතුරු මහවංශය  ඇසුරෙනුත් වැඩි ප්‍රමාණයක්  ජනශ්‍රුති, ජනප්‍රවාද තුළිනුත් උකහා ගත්තා. තවත් වැදගත් තොරතුරක් තමයි මෙහි ඇති අධ්‍යාපනික වටිනාකම. හය වන ශ්‍රේණියේ සිංහල පෙළ පොතෙත් ඇතුළත් වෙනවා කඩවර දෙවි පුවත.

හේමමාලි:
ඔබේ මේ  විස්තර කිරීමෙන්ම ශ්‍රී ලාංකිකයෙකු හැටියට මටත් මහත් අභිමානයක් දැනෙනවා. චිත්‍රපටිය තුළින් ශ්‍රී ලාංකික ජන මනසේ උත්තේජනය , වීරත්වය ඔබ බලාපොරොත්තුවන ආකාරයට ජනිත කරන්න හැකිවන බව මගේ විශ්වාසයයි.  ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වීමටත් ප්‍රථම  අපට මෙය නැරඹීමේ වාසනාවන්ත අවස්ථාවක් උදාවෙලා තියෙනවා. ඒ විස්තරයත් සඳහන් කළොත් :

සුජීව ගුණරත්න:

ඔව්, විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි මෙම චිත්‍රපටිය පවුලේ සැමටම එකට වාඩි වී නැරඹිය හැකි චිත්‍රපටියක්. ඒ වගේම විදේශීය රටක ඉපදුණු ඔබේ දරුවාට ශ්‍රී ලංකාවේ අභිමානය කියා දීමේ  වරමක් ඔබට ලැබෙනවා.  මම එහෙම කියන්නේ පොතකින් හෝ කතාවකින් කියා දෙනවට වඩා ඉතාම සරල ලෙස දරුවෙකුට චිත්‍රපටිය තුළින් වටහා ගැනීමට හැකිවන නිසා.  කුඩා දරුවෙකුගේ වීර ක්‍රියාවක් වටා මේ කතාව සබැඳි ඇති නිසා කුඩා දරුවෝ ආසාවෙන් නරඹාවී.  ජුනි 5 මෙල්බර්න් නගරයේත්  ජුනි 12 බ්‍රිස්බේන් නගරයේත් මෙය තිරගත වීමට නියමිතයි. මා ඉතා ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා මෙල්බරන් සහ බ්‍රිස්බේන්  ශ්‍රී ලංකේය ප්‍රේකෂකයන්ට තම දරුවොත් රැගෙන ඇවිත් මේ චිත්‍රපටිය නරඹන ලෙස. ඒ වගේම මේ මහගු අවස්ථාව මග හැර ගන්න එපා කියාත් ඉල්ලා සිටිනවා. 

KAALA " Sinhala Movie 

Date : 5th June 2016
Place : Union Theatre - Monash University Clayton
Session Time : 3.30pm & 6.30pm
Tickets : $25pp & $80 family
Please visit AusNewsLanka.com 

or Contact: 

Nihal - 0425 830 053
Manoj - 0406 842 559
Sumeda - 0424 181 665
Krishantha - 0470 430 047


KAALA " Sinhala Movie 

Date : 12th June 2016
Place : Dendy Portside Cinema
Remora Road, Hamilton

Session Time :  6.00pm
Tickets : Adult  $20  & Children $10

Contact:

Meril   0412 414 083
Wasantha 0414 737 375
Jayalath 0408 080 144
Sunil  0405 320080

 

හේමමාලි:
ඔබ කැළණි විශ්ව විද්‍යාලීය කලා  උපාධිධාරියෙක්  ඒ වගේම මිනිස් අයිතිවාසිකම්  සම්බන්ධ කොළඹ විශ්ව විද්‍යාලීය ඩිප්ලෝමාධාරියෙක්  අපේ ප්‍රේක්ෂකයෝ  කැමති වේවි ඔබ ගැන පුංචි විස්තරයක් දැන ගන්න.

සුජීව ගුණරත්න:
හොඳයි.   දේශීය චිත්‍රපටි, ටෙලි  නාට්‍ය, වෙළඳ දැන්වීම්  සහ විදේශීය චිත්‍රපටි කීපයකත් කලා අධ්‍යක්‍ෂකවරයෙක් විදියට මම  අවුරුදු 20ක් පමණ වැඩ කරලා තියෙනවා. එයින් කීපයකට රයිගම්, සුමති, සිග්නිස් සහ රාජ්‍ය සම්මාන මට ලැබිල තියෙනවා. මා කලා අධ්‍යක්ෂණය කල වැඩ කීපයක් සඳහන් කරන්නම්. ජයන්ත චන්ද්‍රසිරිගේ "හතර දෙනෙක් සෙන්පතියෝ "  සුදත් දේවප්‍රියගේ   වංකගිරිය , තුසිත සිල්වාගේ  පුනරාගමනය,  කින්නර දමනය ,  ධවල කඩුල්ල වැනි ටෙලි නාට්‍ය  සහ චිත්‍රපටි  ඉර හඳ යට , ජුලියා,  ඒ  වගේම "  කාල " මගේ තුන්වැනි අධ්‍යක්ෂණය.  මීට පෙර මා අධ්‍යක්ෂණ කල " සීමා " කෙටි චිත්‍රපටියට හොඳම කෙටි චිත්‍රපටියට හිමි බොන්සුවා සම්මානය සහ  සිග්නීස්  සම්මානය හිමි වෙනවා.  මගේ  අනෙක් අධ්‍යක්ෂණය  "ඩst"   ටෙලි නාට්‍ය ඉදිරියේදී  විකාශය වීමට නියමිතයි.

හේමමාලි:
"කාල" චිත්‍රපටිය ගැන තව දුරටත් විස්තර දැන ගන්න ප්‍රේක්ෂකයෝ කැමති වේවි.  නළු නිළියෝ ගැන චිත්‍රපටිය නිර්මාණය වුණු හැටි එහෙම,

සුජීව ගුණරත්න:
ඒ  ගැන නම් ඉතිං දවස් ගානක් වුනත් කතා කරන්න රසවත් දේවල් තියෙනවා.  මුලින්ම කියන්න ඕනේ දැනටමත් මෙම  චිත්‍රපටියේ " කලා වැවටම" ගීතයේ සංගීතය සඳහා දර්ශන රුවන් දිසානායකටත්,  ළමා ගායනය (අරණළු ගීතය) සඳහා හිමාෂ මනුප්‍රිය දිසානායකටත් 2015 රාජ්‍ය සංගීත  සම්මාන ලැබිලයි තියෙන්නේ.

  

 

නළු නිළියෝ සොයා ගැනීමේදී දක්ෂකම හා මේ චිත්‍රපටියට වඩාත්ම ගැලපෙන කෙනා සොයා ගැනීමට මම වෙහෙසුනා. මහේන්ද්‍ර පෙරේරා ප්‍රධාන චරිතය සහ ඔහුගේ බිරිඳගේ චරිතයට ඉතාම දක්ෂ නිළියක් වන මාදිනි මල්වත්ත තෝරා ගත්තා.  හාමුදුරුවන්ට රඟපාන නළුවා සහ ළමා නළුවන් දෙදෙනා ගමෙන්ම සොයා ගත්තා.  මේ අයට මම කැලේ මැද්දේ සතියක වැඩ මුළුවක් පැවැත්වූවා. ඒ අයගේ රඟපෑම ඉතා විශිෂ්ඨයි. මට තිබුණේ ඒ ළමයි කරන දේවල් තුළින් ඔවුන්ගේ රඟපෑමේ කොටස් සියුම්ව උකහා ගන්න විතරයි.   

ඊළඟට දර්ශන තල සොයා ගන්න ගොඩක්ම වෙහෙසුණා. පොළොන්නරුවේ ඉඳල කිලෝ මීටර හතළිහක් පමණ ඇතුළට වෙන්න කරපොළ කියල කැළයක් තියෙනවා.  එතන තෝරා ගත්තට පස්සේ ඒ කාලෙට ඔබින විදියට ගෙවල් දොරවල්,කඩ මණ්ඩි, පන්සල්, පාරවල් එක්ක  දර්ශන තල අපි නිර්මාණය කර ගත්තා.   නොයෙකුත් බාධක ආවත් අවසාන ප්‍රතිපලය වුණේ ඉතාම අගනා සිනමා කෘතියක් බිහි වීමයි. 

හේමමාලි:
ඉතාමත් පැහැදිලියි ඔබගේ ගමන් මග. ඔබ වන් තරුණ නිර්මාණකරුවන්  උපන් බිමට වාසනාවක්.  තව තවත් ඔබ අතින් ඉතාමත් සාර්ථක නිර්මාණ  බිහි වේවා !යි අපේ පැතුමයි.

Last modified on Thursday, 25 August 2016 01:33