තුන්වෙනි සීනුවෙන් පසු හතරවන බිත්තියෙන් දැක්මට අවසර!!! ලක්ෂ්මන් ගයයි නිර්මලා අසයි.... Featured

Monday, 31 October 2016 00:00 Written by  Published in Australia News

දෙවෙනි පන්තියට ඇතුලත් වෙච්ච් මාව භාරවුනේ චිත්‍රා ජයතිලක ගුරු මහත්මියට. චිත්‍රා ටීචර් හරි ලස්සනයි, ඒ වගේම සෙල්ලං බෑ හරි සැරයි. ඇහැට කණට පෙනෙන්න ලස්සනට ඔසරිය ද සාරිය ද හරිහරියට ඇන්ද අපේ ටීචර්, සිංහල සාහිත්‍ය කලාවට සරස්වතිය වන් නිර්මලාවක් යයි මට සිතුනා. ඇය දැන් ඉන්නේ ඇමෙරිකාවේ. එදා ලක්ෂ්මන් හිටියේ කුරුණෑගල. 1976 ගුවන් විදුලි සරල ගී වින්දනයකට ලක්ෂ්මන් සර්ගේ මධුරතාවට කුලේ අයියා මෙහෙම ලියුවාලු. 

 

දුර ඈත ජීවිතේ ...

පිපිසේ අවාරයේ.....

ඒ ආදරේ සැලේ ...

වේදනා මාරුතේ .....

 

අපි ඉගෙන ගත්තේ කතෝලික පාසලක වුනත්, කුරුණෑගල මලියදේව එකේ ලක්ෂ්මන් එක්ක නිමල් ගුණසේකරත්, එක පන්තියේ සිටි බව ටීචර් කියනවා. කවුද ලක්ෂ්මන් විජේසේකර කියන්නේ කියලා පන්තියේ ඔක්කොම ඇහුවේ, මොකද එයාලු එන්නේ මේ සැරේ සිංහල සාහිත්‍ය දිනට තෑගි දෙන්න කියලා, ඉස්කෝලේ බෙල් එක ගහන සේන අයියා කිවුව නිසා. තද පලාවන් පාටට හුරු කමිසයක් ද දුඹුරු පාට කලිසමක් ද ලක්ෂ්මන් සර් තෑගී දෙන දවසේ ඇදන් ආවා. 

 

දෑත දෙපාලන ගිගිරි සරින් 

මා කැදවා නොතැවෙන්  

සිවු සිය ගව් දුර 

ඇදෙන ලෙසින්  

සෝක සුසුම් නොහලන් ....හඩ ගැඹුරුයි. හැබැයි ලයාන්විතයි. නොවැම්බර් 13 ආයි එනවාලු.

 

ලක්ෂ්මන් සර්ගේ උස වගේම නාබර උඩු රැවුලත් සුපෙම්වත් සිනාවත් හරි හරියට ඉළන්දාරි පෙනුමක් ආරුඩ තිබ්බ බව, ගත්ත ෆොටෝ එකෙන් ජැන්ඩියට පෙනෙනවා. මට ජීවිතේ  මුල්ම සිංහල සාහිත්‍ය කලාවට සහතිකයක් සහ තෑග්ගක් හම්බවුනේ ලක්ෂ්මන් විජේසේකර නම්වූ  අපුර්ව ගාන්ධර්වයා අතින්. අපි උඩ පන්තිවලට යද්දී ලක්ෂ්මන් මලියදේවයෙන් ගොඩවෙන්නේ රජයේ සංගීත විද්‍යාලයට. ලක්ෂ්මන් තම සංගීත සමකාලින ආනන්ද වීරසිරි සමගින් ගයන්නේ ජීවිත යථාකාලිනත්වයද යන්න අපි අපෙන්ම ප්‍රශ්ණ කරයි. 

 

සොයමු සොයමු පිදුරු ගහක් 

එල්ලෙනට අපි 

පහලට ගහගෙන යනදා 

පිදුරු ගහත් ඇති ....එදා ලක්ෂ්මන් සහ ආනන්ද ගැයුවා.

 

රෝහණ ඔහුගේ සගයන් අතර සංගීත ඉලන්දාරියා යයි මට සිතේ. බන්දුලයාද (බන්දුල විජේවීර) සහ මාතලේ බණ්ඩාර (බණ්ඩාර ආතාවුද) මෙන්ම ආනන්ද වීරසිරි ද ගජමිතුරු සිත්වැලේ ගෙඩි යයි මට සිතේ. හෙක්ටර් සොයිසාගේ ගෝලයෙක් වුනාට වැඩියෙන්ම ඉගෙන ගන්නවාට වැඩියෙන් කළේ යූනියන් වැඩ කියලා බොහෝ දෙනෙක්  දන්නවා. මට කුඹුක්ගැටේ  මතක් වුනා. ලක්ෂමන් කෙතරම් තරුණද කියලා හිතෙනවා. ලක්ෂමන් නුර්තියට ප්‍රේම කරන්න වුනා. නිර්මලා සිනාසෙයි. ලක්ෂමන් අතපසු නොකළ රසයක් මෙන්ම විෂයක් සිනහාවේ ගැබ්ව තිබේ, චන්ද්‍රෝ. ඉතාමත් සරල විදියට සැහැල්ලූවෙන් ජීවත් වෙන්න ලක්ෂ්මන් හපනා. ජීවිතේ දේවල් ඉතාම සරලව ගත්තු ලොකු ප්ලෑන් තියාගෙන හිටියේ නැති කෙනෙක් කියලා නිර්මලාට සිතෙයි.

 

ඇයි තරහින් 

මානකාරි 

පලා දුවන්නේ 

දමලා මා මෙහි...

පලා දුවන්නේ 

දමලා මා........ලක්ෂමන් නොවැම්බර් 13 සුගායනය කරනු ඇත. 

 

විටෙක තම ශිෂ්‍යාවක් වූ ප්‍රදීපා සමග ලක්ෂමන් ගයද්දී තම සමකාලින මිතුරිය වන මාලිනි බුලත්සිංහලයන් ද මොහොතකට හෝ සිහියට නැගේ. මේ මහා විශ්වය විස්මිතය. එතුළ ගැබ්ව ඇති ආදරය නම් හැඟීම සුන්දරය. මේ සුන්දරත්වය එකම විශ්වීය මායා ජාලයකි. සොබා දහමේ සැබෑ සොඳුරු බව දකින්නට පවා ආදරයේ ඇස් ඕනෑ කෙරේ.

නමුත් ආදරයට එහා නොගිය ආදරයට - මෙහා නොවන තවත් අපූරු හැඟුමක් ලෝකයේ තිබෙයි. මේ සොඳුරු ළෙන්ගතුකමේ අරුත සපුරාම හකුළුවා ලන වචනය මිතුරුදමයැයි කියන්නත් බැරි ය. මක්නිසා ද එහි අරුත මිතුරු දමකට වඩා සියුම් වන බැවින් ය. ඊට වඩා උතුම් වන බැවින් ය. ලක්ෂමන් මිත්‍ර සමාගම් තුල අග්‍ර පුරෝහිතයෙකි.

 

තරු එළිය නුදුටු රාත්‍රි කාලයේ

දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්

කිසිදින අප හමුනොවන බව දනිමි

සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

 

පහේ පන්තියේ මං ඉන්න කාලේ අපේ ඉස්කෝලේ ඉගෙන ගත්ත විජේ අන්කල් සහ රවින්ද්‍ර අන්කල්ලා පිළිගැනීමට උත්සවයක් තිබ්බා. ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයා වූ පුංචි හුරුබුහුටි මට පැවරුනේ විජේ අන්කල්ට මල් මාලය දමන්න. ඒත් උස ගැටලුවක්. මං පොඩි එකා. විජේ අන්කල් මාව වඩා ගත්තා. ඔහු මිනිසුන් අතර දෙවියෙක් වූ බව පසුකාලයක මට වැටහුනා. ලක්ෂ්මන් සර් ගොඩාක් ආදරය සම්බන්ධ සිංදු කියලා තියෙන්නේ. ඊට වෙනස්ව කළ එකම සිංදුව වෙන්න ඇති.....

 

ඇති දේ ඇති සැටියෙන් දකින මිනිස්සු..... 

ලක්ෂමන් නැවත මුමුණයි. නිර්මලා නිසොල්මන්ව සිටී. 

 

විජය කුමාරතුංගගේ මළගෙදර දවසේ තමයි ලක්ෂ්මන් සර් සහ වසන්ත කුමාර කොබවක ගෙදර ඇවිත් ස්ටූල් එක උඩ තියාගෙන, කොබවක ඔය සිංදුව ලියලා තියෙන්නේ. බොහෝ විට මේ සිංදුව කරන්න ඇත්තේ විජය කුමාරතුංගගේ මතකය එක්ක වෙන්න ඇති. නිර්මලාගේ පමණක්  නොව සරෝජීනීලාගේද ඇස්වල කදුළු. භාවාත්මකව මිනිහෙක්ට විඳින්න පුළුවන් කලා මාධ්‍යයක් විදියට ලක්ෂ්මන් ගීතය දකී.

 

පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ

දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ

ඉඳ හිටි සපැමිණ සිත් සතන් සැනැස්සූ

කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ...කදුළු පිසදා එන්න නොවැම්බර් 13 නිර්මලාට කියයි.

 


නිර්මලාට විජේව මුණගැසීම සහ ලක්ෂ්මන්ට සුදර්ශියේදී චන්ද්‍රා හමුවීමත් අපුරුයි. ජීවිතේ සුන්දරය. බොහෝ විට හුදෙකලාව ළඟ එය වඩාත් සුන්දර ය. ලක්ෂ්මන්ලාගේ නාරාහේන්පිට ගේ ඇතුලේ හිටපු සපු (කරුණාදාස සපුතන්ත්‍රී) තමයි වැඩිපුරම සිංදු ලිව්ව ගේය පද යතුර. වැඩිපුරම යුග ගීත ගායනා කළේ නිර්මලා රණතුංග එක්ක. දෙන්නම හමුවෙන්නේ වික්ටර්ගේ සා එකේදී. ”  ප්‍රසංගයෙ කෝරස් කියන්න ගිහින් කෙලවර වෙන්නේ මේ ප්‍රේම සීමා මාලකේට ගොඩවෙලා. නිර්මලා අඬගසයි. ලක්ෂ්මන් ගයයි.

 

මේ ප්‍රේම සීමා මාලකේ හමු වී

නෙතු කැන් සලා ලතැවුල් නිවා

කඳුළින් සිනාසෙමූ

 

විරාගයේ ප්‍රධාන භූමිකාව වන අරවින්දවෙනුවෙන් තෝරා ගැනුනේ ලක්ෂ්මන් සර්ව බව අපට වඩා තිස්ස අබේසේකර දනී.  විරාගයේ අරවින්ද වී, එසේ නොවූ චරිතයද ලක්ෂ්මන්ය විජේසේකරයි. මටත් නොකියා තිස්ස අරවින්දචරිතය රඟපෑම සඳහා ලක්ෂ්මන් විජේසේකරට ආරාධනා කොට තිබුණා යයි පසු කාලෙක චන්ද්‍රා මල්ලවආරච්චි නම් වූ ඕ තොමෝ මාධ්‍යට පවසා තිබුනා. ලක්ෂ්මන් සර් යලි ගයයි. නිර්මලා හද පිරිමදි. 

 

සමාව ඉල්ලා හඬාවැටන්නද

ඔබ ආදරය කළේ....

පරාද කර මා හද රිදවන්නද

ඔබ ආදරය කළේ....

 

අප වඩා ප්‍රිය කරන ගීත ඇත්තේ දුක්බර සිතුවිලි ගැනයි. සෝමපාල ලොකු අයියාද (සෝමපාල රත්නායක) සංගීත ඉලන්දාරි නඩයට තාල සපයයි. සොඳුරු බැඳීම් සහ ප්‍රාර්ථනා ඈතින් හෝ ලංව තිබුණත් සිතට සුන්දර ය. ළඟට ළං වූවිට දැනෙන දැනෙන්නේ නැති නිසා ය. පරම පවිත්‍ර බැඳීමක සුන්දරත්වය ඔබට විඳින්නට දුර  නැතය...ඒ නිසා ම නිර්මලාගේ හදවතට වඩාත් ම ළඟ ය...!

 

පාවේදෝ බිඳී ඈත ප්‍රේම ප්‍රාර්ථනා 

නෑසේදෝ සිතේ නැගෙන ප්‍රේම වේදනා 

 

සිහිනයකි සුවද ඔබේ 

මාරූතයේ සැගව ගියේ 

පාවේදෝ බිඳී ඈත ප්‍රේම ප්‍රාර්ථනා

 

සිහිලැල් සුවේ සදා මහදේ වේලි එදා 

කදුලැල් නෙතේ පුරා රහසේ ගියා මෙදා 

සවනේ රැදේ සදා එදා මාහා කි කතා 

 

ලක්ෂ්මන් සර් සංගීතයට වඩා චිත්‍රපටිවලට තමයි පිස්සුවෙන් හිටියේ. අපි සාමාන්‍ය පෙළ කරන කාලේ අපේ සිංහල සර් අලුත් ටෙලියක් හදන්න ගත්තා. එයාගේ නම බර්මින් ලය්ලී  ප්‍රනාන්දු. එකේ නම ගංගා සහ නිශ්ශංක. මෙන්න ඒකෙත් ඉන්නේ ලක්ෂ්මන් සර්. බාගයක්ම දර්ශන රූ ගත කලේ අපේ ඉස්කෝලේ. එදා ලේඛා අක්කා එක්ක රේඛා ටෙලි සිත්තමේ ද සහ ඉන්පසු සමිතා සමග ගංගා සහ නිශ්ශංක ටෙලි සිත්තමේද දකින සුන්දර පුරිස තෙමේ ඔහුමය. මාව රේඛාවට දැම්මේ රෝහණනෙ, ලක්ෂ්මන් කියන්නේ හරියට හිර දීලා වගේ. හැබැයි රගපෑම ඔහුට රිදුම් නොදෙයි.ඔහු තමන් ගැන කයිවාරු ගහන ගායකයෙක් නොවේ. ගායකයෙක් විදියට තෘප්තිමත්ද කියලා ඇහුවොත් කියයි නැහැ කියලා. අපි පට්ට විදියට රස විදියි. මියුසික්වලට වඩා එයා තෘප්තිමත් වුණේ අධ්‍යක්ෂවරයෙක් විදියට කළ වැඩ ගැන. විලම්බීත වගේ නිර්මාණ ඊට නිදසුන්. ගීත පනහට අඩු වුවත් ඔහුගේ උසට වඩා ඒවා ජනප්‍රිය බව නිර්මලා දනී.  

 

සසල නොවී ඔබ හිදින තුරා

පෙනෙයි මා ඔබේ නෙතින්

සසර පුරා සැරි සරන තුරා

බලමි ලොව ඔබේ නෙතින්

 

සඳ කිනිති නැවී ...

එක කාලයක ලක්ෂ්මන් සර්ට රූපවාහිනියේ උසස් තනතුරක් ලැබුණා කියලා මට මතකයි. ටික දවසක් රැකියාවට ගිහින් මට එතැන කරන්න දෙයක් නැහැ කියලා ඉල්ලා අස්වීමේ ලිපියක්වත් නොදී සර් අයින් වෙලා තිබුණා. සරල නිදහස් අසංකීර්ණ රස විඳීමෙහි දක්ෂ අපුරු මිනිසා හරියට මට ඉටි පන්දමක් වැනිය...එහි ගුරුතරුවගෙන් එලිය වන බොහෝදෙනෙක් එලිය දකී. එහෙත් ඉටි මෙන් දැනුම ක්‍ෂය කරන තරගකාරිත්වය සහ වාණිජත්වය බැහැර කල මනෝරම්‍ය මිනිසාගේ අසාමාන්‍ය ගුණ සංවතනයට ලක් නොවේ.  මනෝ (ජයලත් මනෝරත්න) ලියයි. ලක්ෂ්මන් සර් ගයයි. නිර්මලා දෑස් පියා ගනී.

 

 

තරු කඩා වැටී ඉවුරේ

තරු පිපී රැයක සයුරේ

සැඩ සුළං නොමැති අහසේ

ලොව නිසොල්මනේ නැවතේ

 

සන්ධ්‍යාවේ ලක්ෂමන් සර් පොතක් ගනී. කවදා කියවා නැති මේ පොතේ මුහුණත පුරුදුය. ඉතාම ගීතවත්ය. ඔහු නොකියූ මතක මස්තකයක් වේ නම් ඒ නිර්මලාමය. 

 

ඹබ මට තරුවකි - ඟනදුරු රැයකදි 

දිදුලන සඳ ලෙස - ගුවන අරා 

 

ළා හිරු මඩලයි -  මා අභියස ඔබ

බැසයන්නේ නැති සසර පුරා...

 

මං මුලින්ම කෙල්ලෙක්ට ලීව ආදර හසුනේ පෙරටුව.....ඹබ මට තරුවකි

චිත්‍රා ටීචර් ලක්ෂමන් සර් පන්තියට එක්කන් ආවා. 

සේන අයියා තුන්වෙනි පාරට බෙල් එක ගැහුවා.

ඹබ මට තරුවකි ...ලක්ෂමන් සර් ඇත්තටම නිර්මලාට කියනවා.

 

උපතින් උපතට චාරිකාවේ ..දිවි මග ඔබ මා ළඟ උන්නා 

යුගයෙන් යුගයට මේ භවයේ මෙන් යලි හමු වෙමු අපි දෙන්නා ...

 

නිර්මලා ගැන ලියන්න බැරි වුන ටික ...... 

ලක්ෂ්මන් විජේසේකර නම් මනෝරම්‍ය මිනිසා ගැන .....

සිනා පිපෙනා නොවැම්බර් 13 දා දැනගන්න...ගොඩවන්න

 

ලද දෙයි සතුටින් විද වෙසෙන මිනිසුන්ට   

ලක්ෂ්මන් විජේසේකර සතුටින් සිනාසෙයි 

 

දැල්වූ පහන් දැල් වී තිබේවා !!!!

Last modified on Wednesday, 02 November 2016 16:33

Latest from සහන් වීරසේකර