පිළිකන්න දොරෙන් අමරබන්දු විමසූ සාක්ෂිය

0
670

අමරබන්දු බසයෙන් බැස කොලොම්තොට සිරි නරඹමින් වීදි දිගේ ඉදිරියට ඇදෙන්නට වූයේ කහට වීදුරුවකින් සප්පායම් වීමට කඩ පිලක් සොයමිනි.

අප්පුහාමි එනව පෙනෙනවා
ආපහු යනව පේනෙනවා
ප්‍රශ්න ඇහුව ඇහෙනවා
උත්තර දෙනව ඇහෙනවා

යැයි තාලයට ගයමින් තමන්ගේ මුහුණට මුලිච්චිවී ගෙන දිව යන කොලු කුරුට්ටා එසේ ගැයුවේ තමන් අවමානයට ලක් කිරීමට යැයි සිතූ අමරබන්දු ඔහුගේ සුරතින් අල්ලා බලහත්කාරයෙන් මෙන් නතර කොට ‘මොකාටද කොල්ලො තෝ අප්පුහාමි කියල කියන්නෙ’ යැයි විමසුවේය.

‘ඇයි මාමා අර පෝලිමට එන්නේ අප්පුහාමිල උත්තර බදින්න’ කොල්ලා කියූ අණ්ඩර දෙමළයක් අමරබන්දුහට වැටහුනේ නැත.
‘මොන හරුපයක්ද බං’ අමරබන්දු ඇසුවේ එහෙයිනි.
‘ඇයි අනේ ඔයා දන්නෙ නැද්ද … කොමිසම.. කොමිසම’ කොල්ලා කීය
‘මොන’ අමරබන්දු තවදුරටත් අන්දමන්ද වී සිටිනු දුටු කොලුකුරුට්ටාගේ ඉවසීමේ කට්ට පැන්නේය.
‘අයියෝ ඔයා නං වැඩක් නැහැ, ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ.. දන්නෙ නැද්ද අර සහරාන්ගෙ බෝම්බ කොමිසම.. අර කට්ටිය එන්නෙ පෝළිමේ’ කොලුකුරුට්ටා කියාගෙන යන්න ගියේය.

අමරබන්දු කොමිසම කිට්ටුවට යනවිට එහි සහලෝල සෙනගය. මුහුණු එල්ළාගෙන පැමිණෙන ලොකු මහත්තුරුන් මුඛවාඩම් ගළවා ඊට ඇතුළුවනු අමරබන්දු දුර තියා නිරීක්ෂණය කළේය. ගොඩනැගිල්ල ඉදිරිපිට ‘සහරාන්ගේ බෝම්බ කොමිසම’ යැයි ලියූ කළු සුදු පුවරුවකි. නීතීඥ මහත්තුරු පොලෝසියේ මහත්තුරු මෙන්ම මයික්‍රෆෝනයේ පොඩියට පෙට්ටියක් සවි කොට අතෙහි හොවාගත් මාධ්‍ය මහත්තුරුද එහි වූහ.

හීන්සීරුවෙ වැටෙන් රිංගා ගත් අමරබන්දු කොමොසමේ පිලිකන්න දොරට කණ තබා ඇතුලේ සිදු වන්නේ කුමක්දැයි විපරම් කළේය.

“ප්‍රහාරය දවසෙ ඔබ කොහෙද සිටියේ’
‘ගෙදර ස්වාමීනී’ කෙනෙක් ප්‍රති උත්තර බදියි
ගෙදර මොනවද කළේ
‘ගෙදර බල්ලව නෑව්ව ස්වාමීනී’

එතකොට ප්‍රහාරයට කළින් දවසෙ?
‘ඒත් ගෙදර ස්වාමීනී’
මොනවද ගෙදර කළේ
‘බල්ලා නාවන්න වතුර රත් කළා ස්වාමීනී’
එතකොට තමුන්ව මේ ප්‍රහාරය පිලිබදව වගකිව යුත්තන් දැනුවත් කළේ නැතිද?
‘කැන්ටිමේ තේ බොද්දි, හැලප කද්දි ඒවගේ කතා කට්ටිය කතා වෙනව ඇහුනා, ඒත් ඒව මට කිව්වෙ නම් නැහැ ඕං ස්වාමීනි, ඇරත් කවුද අම්මපා හිතන්නේ ගහයි කියල මේ වගේ ලවක් දෙවක් නැති වෙන්න ගහයි කියල.
‘එහෙම මට කවුරු හරි කිව්ව නම් ඔන්න මොනවම හරි කරන්න තිබ්බා, අඩුම තරමේ ඔය ප්‍රහරය නවත්තන්න තිබුණා සහරාන් ඇවිල්ල මිනිහගෙ ප්ලෑන මගෙත් එක්ක කිව්ව නම්. එහෙම නැතුව මම කොහොමද මෙච්චර දෙයක් වෙයි කියල තනියෙං හිතන්නේ ස්වාමීනී, මල විකාර’

‘මම නම් රටේ හිටියෙ නැහැ ස්වාමීනී, ගැහුව කියල දැනගත්තෙත් පත්තරෙන්’
‘මාත් එක්ක ආප්ප කාපු එකෙක්වත් මට කිව්වෙ නැහැනෙ මෙහෙම අටමගලයක් ගැන ස්වාමීනී. කලින් දැන ගත්ත නම් අම්මප මොනවම හරි කරනව. අඩුමතරමෙ ජාතිය අමතල කතාවක් කරන්න හරි තිබ්බා ස්වාමීනී.
‘එතකොට ඔබට මේ ප්‍රහාරය ගැන වගකීමක් නැද්ද?’
‘ස්වාමීනී ඔබ වහන්සේ මේ මොනව කියනවද මම කොහොමද හිටං මේ ප්‍රහාර වල වගකීම ගන්නේ කවුරුත් මට කිව්වෙ නැහැනෙ’

‘අනේ මම කිව්ව ස්වාමීනී, ලියුම් කීයක් ගැහුවද’ ඒ තවත් කටහඩකි
‘මම කියපුදේ මේ කවුරුත් ඇහුවෙ නැහැ ස්වාමීනී’

‘මේ පච කෙළින්න එපා අය්සෙ, තමුන් කොහෙද අපිට කිව්වෙ, කිව්වනම් මෙහෙම දෙයක් වෙනවද’ තවත් අයෙක් උස් හඩින් බෙරිහන්දෙයි.

‘අම්මෝ… බලන්න ස්වාමීනී මේ ලොකු මහත්තුරු කියන බොරු….’ කිව්ව ස්වාමිනී මම කිව්වා’ ඔහු හඩා වටෙයි.
බොරු කියන්න එපා අයිසෙ .. බොරු කියන්න එපා ‘ නැවතත් උස් හඩින් කිහිපදෙනෙක් බෙරිහන් දෙන හඩ අමරබන්දුහට ශ්‍රවණය විය.
‘ඕඩර්… ඕඩර්’ එවර ස්වාමීනී ගේ හඩ ඇසුනි.
‘දැන් මෙතැන ඉන්න එකෙක්වත් ජාතික ආරක්ෂාව ගැන වගකීම ගන්නේ නැද්ද? අඩුමතරමෙ අර මැරිච්ච තුන්සිය දෙනා ගැන හිතලවත්’ ස්වාමීනී ඇසුවේය.
‘අපි මොකට වගකීම ගන්නවද, මොකෝ අපේ කවුරුවත් මළා යැ, ආන්න එහෙම වුනා නම් මොනව හරි කරන්න තිබුණා’ සාක්ෂියට පැමිණසිටි සැවොම එක හඩින් පිලිතුරු බදිනු අමරබන්දු හට ඇසුණි.

තිලංග ෆොන්සේකා