ට්‍රැවල් බබල් ද? කෝවිඩ් පැණියද? අමරබන්දුට දාහකුත් එකක් ප්‍රශ්න!

0
1015

අමරබන්දුගේ මායියාත් හරියට නිල්වලා ගග වාගේය. පිට පොත්තෙන් හරිම නිවිලාය එහෙත් අවුස්ස ගත්තොත් නම් දිය යට කැරකෙන මහා සුලි වගේ සැරය. කොටින්ම ඒ සුලිවලට නිතර හසු වන්නේද අසරණ අමරබන්දුමය. වටලප්පමකට දමන්නට කියා කිතුල් පැණි බෝතලයක් ගෙනෙන්නට ගොසින් වෙන්ත් සැම්පලයක පැණි කුප්පියක් ගෙදර රැගෙන ගිය අමරබන්දු හට මායියාගෙන් දිගින් දිගටම අසන්නට ලැබුණු කන්දොස්කිරියාව හේතුවෙන් හටගත් ඉහේ රුජාව ඔහුව සති කිහිපයක්ම නිවසටම ගාල් කොට තැබුවේය. කොටින්ම ඔහු නිවෙසින් හෙලවුනේ නැත. පැන්ෂන් යන වයසේ සිටියත් තමන් කරපු වගාවකින් හෝ කුලියකින් මලියකින් තවමත් ගෙදර උන් බත් කටක් දෙකක් කන නිසාම ඔහුට තව දුරටත් නිවසට ගාල් වී සිටි නොහැකිය. එනයින් ඔහු පිප්පිලි පත්පාඩගම් තැම්බූ කසායක් බී නිවෙසින් එලියට බැහැ ගත්තේ කීයක් හෝ අත මිට මෙලවෙන කාරියක් සොයාගෙනය.

” අයියෝ කුසලයා අදත් බින්දුවයි…. තූ… මේකාව ගෙනිච්චට වඩා හොදයි ක්ලීටස් මෙන්ඩිස් ප්ලේන් එකේ දමාගෙන ගියානම්” සිරිපිනාහාමිගේ කොල්ලො දෙන්නා හා උන්ගේ සහචරයන් රූප පෙට්ටිය වට කොරගෙන කිරිකැට් තරගයක් නරඹන හඩින් පළාතම දෙවනත් වන්නේය. උන් කාට හෝ මෙන්ඩිස් කෙනෙකුට දෙස්දෙවොල් තබනු අමරබන්දුට ඇසුනි. මේ නහින දෙහින කාලේ මොන මෙන්ඩිස්ද, ඕව බීල තවත් බඩවැල් දිය කොර ගන්නට බැරි යැයි තමන්ටම පවසා ගත් ඔහු ඉදිරියටම ගෑටුවේය. තුංමං හන්දියට පිවිසි අමරබන්දු ඉඩිරියට තැබූ පය සැනින් ආපස්සට ගෙන අසල වූ ගසකට මුවා වූයේ මහ මග දූවිලි අවුස්සාගෙන හැල්මේ තමන් ඉදිරියට ආ බස් රථ පෙල දැකීමෙනි.

“ආ නගින්ඩා… නගින්ඩා… ට්‍රැවල් බබල් ඉන්ටර්නැෂන්ල් ට්‍රැවල් බබල්” කොන්දොස්තර තැන තෝන්චියක් නැතිව බෙරිහන් දෙන්නේය. ඒ  බස් පෙළ අමරබන්දු අසලින් නතර කළැයින් ඔහු තරමක් තැති ගත්තේය. කොන්දොස්තර තැන දැකලත් පුරුදු වාගේය, ගමේ එකෙක් වෙන්නටත් බැරිය, හිසේ කෙස් අඩු, කට වටා රැවුලක් වැවූ මේකා රූප පෙට්ටියේ නම් දැක තියේ කියමින් අමරබන්දු සිතන අල්ල පනල්ලේ කොන්දොස්තර තැන අමරබන්දු ඇමතුවේය.

“මේ ලොකු උන්නැහේ යමුද ට්‍රැවල් බබල් ටුවර් එක” ඔහු බසය තුල සිටි විදේශිකයින් පිරිස පෙන්වමින් අමරබන්දුගෙන් ඇසුවේය.

“මොන බබල්ද උන්නැහේ ඇහැකි නම් මාව ඔය ඉස්සරහ හන්දියෙන් බස්සගෙන යමුකො” අමරබන්දු එවර පැවසුවේය

“පුළුවන් හැබැයි බස් එකෙන් බැහැල ගෙදර යන්න බැහැ සති දෙකක් නිරෝධායනයට යන්න ඕනෙ” කොන්දිස්තර තැන උජාරුවෙන් කීවේය.

“ඒ අහවල් දේකටද” අමරබන්දුගේ ස්වරයේ ගැබ්ව තිබුණේ කේන්තියකි.

“එහෙම තමයි උන්නැහේ මේ යුක්‍රේන සුදු නොන මහත්තුරු හැරුනහම ඒ අය යන එන තැන්වල ඉන්න අපේ උන්දැල ආණ්ඩුව නිරෝධායනය කරනවා.. ඔහේ කැමතිනම් නගින්න” කොන්දොස්තර තැන එවර කීවේය. ඔහුගේ වදනින් අමරබන්දුහට අසූ හාර දහසට නැග්ගේය.

“නිකං කුණු හබ්බ කියන්නෙ නැතුව යන්ඩ මහත්තය යන්ඩ” අමරබන්දු කීවේ එපමණකි බස් පෙළ පවනටබදු වේගයෙන් ඉදිරියට ඇදුනේය.

අඩේ අප්පා මේ අර පහුගිය ටිකේ රූප පෙට්ටියේ නිතරම පෙන්නපු ජාත්‍යන්තර රතු වරෙන්තු කේස් එකට හොයපු  රුසියාවෙ ලංකන් මහත්තය නේද. බස් පෙළ විසින් අවුස්සනලද දූවිලි රොටු වලට විරුද්ධව සිය නහසය අතින් වසාගෙනම අමරබන්දු කොන්දොස්තර කොලුවා පිළිබදව සිහි කැදෙව්වේය.

“ස්..ස්” තමන් සිටගෙන සිටි ගසෙන් නැගුණු හඩින් ඔහු උඩ බිම බැලුවේය.

“ස්..ස්.. මේ ලොකු උන්නැහේ මේ මම.. මම” එවර හඩ පැමිණියේ ගස මුදුණින්ය එනයින් අමරබන්දු උඩ බැලුවේය.

“හප්පේ… මේ අපේ දේශීය වෙද ඇමතිතුමානෙ… මොකෝ මේ ගස් බඩගාල” සුදු ජාතික ඇදුමෙන්ම ගසේ අත්තක් උඩ ඇණතියාන හුන් ඇමතිවරයා දුටු අමරබන්දුහට සිනහ පහල විය.

“අනෙ අමරබන්දු උන්නැහේ කතා කරන්න එපා ඒ ගැන… මම මේ හැංගිලා ඉන්නේ පැණි බෝතල් අරගෙන අමාත්‍යංශෙට එන උන්දැලගෙන්. ඉවරයක් නැහැනෙ අප්පා” ඇමතිතුමාගේ කට ඇදවී ගියේය.

“ඒ මොකෝ ඇමැතිතුමා පහු ගිය ටිකේ ඔබ තුමා රූප පෙට්ටියෙමනෙ හිටියේ” එවර අමරබන්දු ඇසුවේ විමතියෙනි

“ඒකම තමයි හරහට හිටියේ අමරබන්දු උන්නැහේ.. ඔය පැනි අරගෙන එන උන්දැල එන්නෙ තනියෙම නෙවෙයිනෙ කැමරා පත්තර මහත්තුරුත් රොත්තක් පිරිවරාගෙනනේ. ඒ උන්දැල කොරෝනා පැනි නෙවෙයි මල්පැනි ගෙනාවත් පත්තරේ යන්නේ ඒවා හරියට මම කියල හැදෙව්වා වගේ.. බේරිල්ලක් නැහැ අප්පා..” ඇමැතිතුමාගේ හඩ එවර අබලන්ය.

“කොටින්ම මම මගේ ෆෝන් එකත් ඕෆ් කරගෙන ඉන්නේ” උන්නාන්සෙට ඇඩෙන්නත් වාගේය.

“ඇත්තටම ඇමතිතුමා ඔය රූපපෙට්ටියෙ පෙන්නන පැණි වලින් කොරෝනා ඇත්තටම හොදවෙනවැයි” අමරබන්දු එවර ඇසුවේ උන්නාන්සෙට විහිළු කරන අදහසකින් නම් නොවේ නමුත් ඇමැතිතුමාගේ කේන්තිය මුහුණේ රැවුල්ගස් වලින්ද එළියට පනින හැටි අමරබන්දු දුටුවේය.

“අනේ මේ අමරබන්දු උන්නැහේ විකාර කතා නැතුව මට වතුර එකක් ගෙනත් දෙන්න උදේ ඉදන් ගහ මුදුණට රූටලා මගෙ තොල කටත් වේළිලා දිවත් ගිලෙන්න වගේ. කියමින් ඔහු අමරබන්දු වෙත හිස් ප්ලාස්ටික් බෝතලයක් ගස මුදුණේ සිට විසි කළේය.

“හොදමයි” කියා යාප්පුවෙන් වතුර බෝතලය අහුලාගත් අමරබන්දු දිය පාරක් සොයා ඉදිර්යට ඇදුණේය.

“පැණි බොන එකෙක් බොයි, හදන එකෙක් හදයි, හොද වෙනව නම් හොදවෙයි… ආයෙ මයෙ මොකෝ” අමරබන්දු ඈතට ඇදුනත් ඇමැතිතුමාගේ ශෝකී හඩ ඔහුට පැහැදිලිව ඇසුනි.

තිලංග ෆොන්සේකා 

කාටූන්: රංජන් පරනවිතාන