මෙල්බර්න් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්‍ය්‍යාලයේ සේවාවන්

0
1371

මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්‍ය්‍යාලය වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියා සහ ටැස්මේනියා ප්‍රාන්ත වල වාසය කරන ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් පහත සඳහන් කොන්සියුලර් සේවාවන් පවත්වාගෙන යයි.

උප්පැන්න සහතික: ඔබේ අලුත උපන් දරුවාගේ ශ්‍රී ලාංකික උප්පැන්න සහතිකය, දරුවාගේ වයස වසරක් පිරෙන්නට පෙර පැමිණ අයදුම් කරන්නේනම් එදිනම කොන්සල් ජනරාල් කාර්‍ය්‍යාලයෙන් ලබාගත හැක. වසරකට වඩා වයසැති දරුවන්ගේ උප්පැන්න සහතික සඳහාද අයැදුම්පත් බාරදිය හැකි අතර කොළඹ රෙජිස්ට්‍රාර් ජෙනරල් කාර්‍ය්‍යාලයේ අනුමැතියෙන් පසුව උප්පැන්න සහතිකය නිකුත් කරනු ලබයි.

පුරවැසි සහතික: උප්පැන්න සහතිකය නිකුත් කිරීමෙන් පසුව දරුවාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය සනාථ කරන පුරවැසි සහතිකය නිකුත් කරනු ලබයි.

ඉහත සහතික සඳහා අයදුම් කිරීමට දරුවා උපත ලබන දිනයේදී අවම වශයෙන් දෙමාපියන්ගෙන් එක් අයෙකු ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම මූලික කොන්දේසියක් වෙයි.

ද්විත්ව පුරවැසි සහතික: ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය දැනටම ලබා සිටින හෝ ලබා ගැනීමට බලාපොරොත්තු වන ඔබගේ ද්විත්ව පුරවැසි (Dual Citizenship) අයදුම්පත් කොන්සල් ජනරාල් කාර්‍ය්‍යාලයට ඉදිරිපත් කළ හැක.

ගමන් බලපත්‍ර: ඔබගේ විදේශ ගමන් බලපත්‍රය කල් ඉකුත් වන්නේ නම් නව ගමන් බලපත්‍රයක් සඳහා අයදුම්පතක් ඉදිරිපත් කළ හැක. මේ සඳහා ඔබගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත (Original Birth Certificate) ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය වෙයි.

රියදුරු බලපත්‍ර: ඔබගේ ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය කල් ඉකුත් වන්නේනම් නව බලපත්‍රයක් සඳහා අයදුම්පතක් කොන්සල් ජනරල් කාර්‍ය්‍යාලයට ඉදිරිපත් කළ හැක. ඒ සඳහා කොන්සල් ජනරාල් කාර්‍ය්‍යාලයට ඔබගේ පැමිණීම අනිවාර්‍ය්‍ය වෙයි.

පොලිස් නිෂ්කාශන වාර්තා: ඔබට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කරන නිෂ්කාශන වාර්තාවක් අවශ්‍ය වන්නේනම් ඒ සඳහා අයදුම්පතක් මෙම කාර්‍ය්‍යාලයට ඉදිරිපත් කළ හැක. (එම වාර්තාව ඔබට පොලිස් දෙපාර්තමේන්තු වෙබ් අඩවිය තුලින් ඍජුවම ලබාගැනීමටද පුළුවන.)

විවාහ සහතික: ශ්‍රී ලාංකික විවාහ නීතිය අනුව විවාහ වීමට බලාපොරොත්තු වන යුවලකට කොන්සල් ජනරල් කාර්‍ය්‍යාලයේදී විවාහය ලියාපදිංචි කල හැක.

මරණ සහතික: ඔස්ට්‍රේලියාවේදී මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ මරණ සහතික නිකුත් කිරීමද කොන්සල් ජනරල් කාර්‍ය්‍යාලයේ තවත් සේවාවකි.

ලේඛණ සහතික කිරීම: ඔබට අවශ්‍ය ඇටෝර්නි බලපත්‍ර, දිවුරුම් ප්‍රකාශ හෝ වෙනත් ලේඛණ කොන්සල් ජනරාල් කාර්‍ය්‍යාලයෙන් සහතික කර ගත හැක.

විශ්‍රාමික ජීව සහතික: ඔස්‍ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික විශ්‍රාමිකයන්ගේ ජීව සහතික (Life certificates) සහතික කිරීම සහ සහතික ශ්‍රී ලංකාවට යැවීමට ඉල්ලා සිටින අයට සහාය වීම කොන්සල් ජනරාල් කාර්‍ය්‍යාලයේ තවත් සේවාවකි.

ඉහත සේවාවන් පිළිබඳව වැඩිදුර තොරතුරු සහ සේවාවන් ලබාගැනීමට කාර්‍ය්‍යාලය වෙත පැමිණීමට වේලාවක් වෙන් කර ගැනීමට කොන්සල් ජනරාල් කාර්‍ය්‍යාලයේ www.slcgmel.org වෙබ් අඩවියට පිවිසෙන්න.

මෙම සේවාවන් සඳහා වන ගෙවීම් දැන් ඔබට කාර්‍ය්‍යාලය වෙත පැමිණෙන්නේනම් ඩෙබිට් කාඩ් පත් මගින් කළ හැක.

ලිපිනය: පස්වන මහළ (කාමර අංක 536), අංක 1, ක්වීන්ස් රෝඩ්, මෙල්බර්න් VIC 3004

දුරකථන අංකය: 039 290 4200

විද්‍යුත් තැපෑල: mail@slcgmel.org