හැපි ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ!

0
874

හැපි ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ

අමරබන්දු දොට්ට පිලට යන්නේ ලන්දටය. ඔය වැසිකිලි පෝච්චි පාවිච්චිය ඔහුට හුරු නැත, ඔහු හිතන්නේ ඒවා ලන්ද තරම් නිදහස් නැතැයි කියාය. දිනක් නිවාඩු පාඩුවේ ලන්දට වී ඉදගත්තා පමණි.

“ඕ මයි ගෝඩ්.. මයි ගෝඩ්.. හෙල්ප්..හෙල්ප්.. සම්බොඩි හෙල්ප් මී” කියා කෑගසමින් තමන් දෙසට වේගයෙන් ඇදී එන ශබ්දය ඇසීමෙන් තමන් කරන්නට ගිය කාරියද අමතක කොට අමරබන්දු නැගීසිටියේ ඉංගිරිසියෙන් බික් බික් ගාමින් තමන් වෙත දිව එන්නේ කවුරුන්දැයි දැක බලා ගැනීම සදහාය. සරමද වලාපොට ගසාගත් අමරබන්දු සිත දඩි කොටගෙන නැගී සිටියේය. තමන් වෙත දිව එන්නේ සුද්දෙකි.

“මල හතිලව්වයි.. මේ මොකාද මේ” තමන් වෙත දිව එන හයේ හතරේ සුද්දා දැකීමෙන් අමරබන්දු තමන්ටම කියාගත්තේ යම් තැතිගැන්මකිනි.

“ප්ලීස් ගෝඩ් හෙල්ප් මී.. ප්ලීස් හෙල්ප් මී” සුද්දා දිවවිත් අමරබන්දු ළග නැවතී හති දමමන් නැවතත් කෑගෑවේය.

සුද්දා මොනවා කියනවද කියන්න අමරබන්දුට තේරෙන ඉංගිරිසියක් නැත.

“අනේ මහත්තය තේරෙන බාසාවකින් කියන්වද ..” අමරබදු සුද්දාටත් වඩා බයාදු ලෙස යාප්පු වූයේය.

“ලොකු උන්නැහේ මට හෙල්ප් හෙල්ප්.. උදවු උදවු” එවර සුද්දා කැඩිච්ච සිංහලෙන් අමරමබන්දුගෙන් උදවු පැතීය. ඔහුගේ කමිසය ද ඉරී ගොස්ය.

“හත්වලාමේ මොකො මහත්තය උනේ.. මගදි හොර මුලකටවත් අහු වුනාද?” අමරබන්දු ඇසුවේ විමසුම් දෑස් හතරාතට යොමුකරමිනි.

“යෙස් යෙස් තීව්ස්… තීව්ස්.. හොරු හොරු ..අර පැත්තෙ” කියමින් සුද්දා අමරබන්දුවද ඇදගෙන ඔහු පැමිණි දෙසට පිය මැන්නේය. යම් දුරක් ගොස් දෙදෙනාම ළග වූ රූස්ස ගසකට මුවා වී බලා සිටියෝය.

හතර අතින් දොර විවෘත කළ පැරණි ඉංග්‍රීසි පන්නයේ මෝටර් රථය ඇතුලෙත් පිටත් රිළවුය. මෝටර් රථය අත්පත කර ගැනීමේ සතුටට උන් උඩ පැන නටති, පිනුම් බඩ පිනුම් ගසති. දෑත් ඉහළට ඔසවා ජය සමරති. එකෙක් සුක්කානම උඩ වාඩිගෙන විරිත්තයි, තවත් එකෙක් රියේ පැති කණ්ණාඩියෙන් මුහුණ බලයි, තවත් පිරිසක් රථය වටේ නටමින් දුවති. ඒ කිසිවෙකුත් තමන් ලද වස්තුව කුමක් සදහාද ඉන් කරන්නේ කුමක්දැයි කියා අබමල් රේණුවක හෝ දැනුමක් ඇති උන් නොවූහ. තමන් ලද වස්තුව කුමක්ද කියා එහි හතර කොණ  මායිම් කොට ගැනීමට ද නොහැකිව උන් ඉන් මද වේලාවකට පසු කෑමොර දෙන්නට වූහ. තවත් කොටසක් ඉන් කෝපයට පත්ව කුලප්පු වූහ. උන් ඉනික්බිති කොටස් කිහිපයකට බෙදී මහා සටනකට අර ඇද්දහ. ඔවුන් ඒ සටන් කරන්නට සැරසෙන්නේ කුමන අරමුණක් වෙනුවෙන්ද කියා උන් එකෙක් හෝ දන්නා මායිමක් නැත්තා සේය. දූවිලි රොටු නංවමින් උන් මරාගන්නා අල්ලපනල්ලේ තවත් කොටසක් රියේ පැති කණ්ණාඩි දෙක ගළවාගෙන කැලයට පැනගත්තේය. තවත් එකෙක් රථය තුල වූ අඩුම කුඩුම ටික රැගෙන කැලේ පැන්නේය.

අවසන සුද්දාගේ රථය රිළා වසුරු වලින් වැසී ගියේය. සිය දෑස අදහා ගත් නොහී අමරබන්දු සිය දෑස පිස දමාද ඒ දෙස බැලුවේය. ඔහුට සුද්දාගැන ඇතිවූයේ අනුකම්පාවකි.

“මේ උන්නැහේ අපි පොලු දෙකක් අරන් ගිහින් රිළවු ටික පන්නමුද?” අමරබන්දු සිතට දිරි ගෙන ඇසුවේය.

“ආර් යූ මෑඩ් ලොකු උන්නැහේ.. ඔය කාර් එකේ තව මොනව ගන්නද මට ඕකෙන් ඇති වැඩක් නැහැ” සුද්දා කෝපයෙන් පැවසුවේය.

“ඒත් මහත්තයා ඔහේගේ වාහනේ බේර ගත්තොත් අඩුමතරමෙ යකඩ වලට හරි විකුණන්න ඇහැක් නොවැ” අමරබන්දු එවර කීවේය.

“මොන…. ආර් යූ මෑඩ් ලොකු උන්නැහේ..ඕක මගේ කාර් එකක් නෙවෙයි මම ඒකාලෙ ඩ්යුටි වලට පාවිච්චි කරපු මේ රටේ පීපල් ලගේ මනී වලින් අපේ ආණ්ඩුවෙන් මට අරන් දීපු එකක්”. එවර සුද්දා පවසන්නේ කුමක්දැයි අමරබන්දු හට නිච්චියක් නොවීය.

“මොන හරුපයක් ද මහත්ත්යො ඒ කිව්වේ.. ඇත්තටම මහත්තය කවුද” අමරබන්දු උඩ බිම බලමින් ඇසීය.

“මම තමයි ලංකාවෙ අන්තිම ඉංගිරිසි ආණ්ඩුකාරය වෙච්චි හෙන්‍රි මොන්ක් මේසන් මුවර්” හෙතෙම මහා ගාම්භීර ලීලාවෙන් පැවසීය.

“අම්මපා.. මේ උත්තමයල මෙහෙන් ගිහින් බොහෝ කල් වෙනවනේ.. මොනවැයි මේ රිලවු ඉන්න බැද්ද අස්සෙ කොරන්නෙ”

“යෙස් යෙස්.. සෙවෙන්ටි ත්‍රී ඉයර්ස් වලට කළින් අපි මේ රට සිලෝනීස්ලටම දීල ගියා තමයි.. ඒත් මම ආවේ අපි ගියාට පස්සෙ මේ ලස්සන රටේ ටිකක් බලා කියාගෙන ආපහු එංගලන්තෙට යන්න කියල”

“ඉතිං බලාකියා ගත්තැයි” අමරබන්දු එසේ අසන විට ඔහුගේ මුහුනේ වූ සිනහව තමන් හට අවමානයක් එක් කළේදැයි ආණ්ඩුකාරය සිතුවේය.

“ඕ මයි ගෝඩ් ලොකු උන්නහේ.. ඒ ගැන කතා නොකර ඉම්මු.. අපේ මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව සිලෝන් ගිවප් කරනකොට මේ රට කොච්චර හොදට තිබ්බද.. ඒකට අපි හදාපු රේල් පාරවල් ටික විතරයිනෙ දැන් ඉතුරු වෙලා තියෙන්නෙ” ඔහු සොවින් බරව කීවේය. ඔහුගේ කතාව ඉන් නතර වූයේ නැත.

“අපේ ආණ්ඩුව ස්ලෝන් ගිවප් කළේ එයාටම ඇති වුනාට පස්සෙ.. ගන්න තියෙන ඔක්කොම ගත්තට පස්සෙ හරියට අර මන්කීස්ල මගෙන් ගත්තු කාර් එක වගේ..”

ආණ්ඩුකාරයා හෙණගහන්න වගේ ඇත්තම දෙසා බාන විට අමරබන්දුටද කේන්ති ආවේය. කොටින්ම ඔහුගේ සැගව තිබූ ජාත්‍යාල හැගීමත් තරමක් උද්දීපනය වී ශරීරයද ජාතිකාභිමානයෙන් ඇළලී යන්නට විය. නමුත් හෙණ ගැහුවත් මේ උත්තමය කියන්නෙ ඇත්ත නේදැයි සිතූ හෙතෙම සිය කේන්තිය පාලනය කරගත්තේය.

“එතකොට ඔය උත්තමය කියන්නෙ.. අපේ කට්ටිය මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව රට ඉල්ලගත්තේ ඔය ඇත්තන්ගෙන් රිළවු කාර් එක උදුර ගත්ත වගේ කියලද?” කේන්තිය මැඩගෙනම අමරබන්දු ඇසුවේය.

“නෝ.. නෝ.. අපෙන් රට ඉල්ලගන්න දවස්වල භාරගත්තු කට්ටිය මේ රිළව් වගේ නෙවෙයි ඒ අය නියම ඉංග්ලිෂ් ජෙන්ට්ල්මන්ට්ස් ල වගේ මිනිස්සු.. ඒත් සෙවෙන්ටි ත්‍රී ඉයර්ස් වලට පස්සෙ බලනකොට නම් මේ ලස්සන රට මිනිස්සු බාර දීල තියෙන්නෙ මගෙ කාර් එකේ ඉන්න රිළවු කණ්ඩායම් දෙකකට කියන එක පැහැදිළියි.. මොකද උන්ට කාර් එක තිබ්බට ඒක ඩ්‍රයිව් කොරන්න දන්නෙ නැහැ.. ඒකයි” ආණඩුකාරයාගේ කතාවෙන් අමරබන්දුගේ සිනහව ඉස්පොල්ලෙද ගියේය.

“එනිවේ ..හැපි ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ ලොකු උන්නැහේ” කියූ ආණ්ඩුකාරයා ලන්දෙන් එළි බැහැගත්තේ පාරේ යන ටැක්සියක් අල්ලා ගැනීමටය.

තිලංග ෆොන්සේකා

කාටූන් රංජන් පරණවිතාන