තාත්තේ… තාත්තේ… පොඩි එකියගේ කෑ මොර දීල්ලට තව ඩිංගෙන් අත්ල උඩ පිගාන තබාගෙන අනමින් උන් බත් පත බිමට සමතලා නොවී බේරුනේ අරුමයකට මෙනි.
මොකෑ.. බොල ලෝකෙ කඩං වැටෙන්න තියල කෑ මොර දෙන්නෙ? අමරබන්දු සිය බාල දියණියගෙන් විමසුවේ ඇගේ කටහඩට උඩ ගොස් බිම වැටෙමින් හුන් අතරවාරයේ ඇතිවූ නොරිස්සුමෙනි.
“අන්න .. වැව් පිටියට කිරිකැට් ටීම් එකේ අංකල්ලා ඇවිල්ලාලු.. යමුකො බලන්න” එවර ඇය පැවසූ දෙයින් අමරබන්දු කරමින් උන් කටයුත්තද අමතක වී ගියේය.
“කිරිකැට් ගහන ළමයි කිව්වා.. යමං බලන්න” කියමින්ම ඉදුල් අත සරමේ පිසදාගත් හෙතෙම හනික වැව් පිටිය බලා ඇදුනේ පොඩි එකී ගෙනා ආරංචිය විපරම් කොට බැලීමටය.
වැව් පිටියට යන විට ගමේම කොල්ලො කුරුට්ටො සියල්ලෝම එතැනය. පිරී තිබූ ඔලුගෙඩි අතුරින් ඉදිරියටම ඇදුනු අමරබන්දු ආයාසයෙන් සිය බෙල්ල හොවා වැව් පිටිය දෙස බලුවේ ඇවිත් ඉන්නවා යැයි කියූ කිරිකැට් ක්‍රීඩකයින් කවුරුන්දැයි විපරම් කර බැලීමටය.
“මොන කිරිකැට් ක්‍රීඩකයොද මේ බැනියං කොට කලිසං කෑලි ඇද ගත්තු කොල්ලො කුරුට්ටො ටිකක් වැව් පිටියෙ තාච්චි පනින දිහා මොකෑ බං මේ ඇස් කණවෙන කල් බලං ඉන්නේ” තමන්ට අදුන ගන්න හැකිවූ කිරිකැට් ක්‍රීඩකයින් එකෙක් හෝ එතැන නොසිටි බැවින් වැවු පිටියේ ඒ මේ අත දුවමින් හුන් රැවුල් වවා පච්චා ගසා සිටි උන් දුටු ඔහු සිතුවේ පිට ගමක කොල්ලො රෑනක් විත් වැව් පිටියේ තාච්චි පනින්නට පුරුදු වෙනවා යැයි කියාය.
“පිස්සුද සීයෙ.. ඔය ඉන්නෙ කිරිකැට් ගහන කට්ටියනෙ..” අමරබන්දු හට සවන් දුන් එතැන් වූ කොල්ලෙකු කීවේය.
“කෝ..?” හෙතෙම නවතත් ප්‍රශ්න කළේය.
“අයියෝ සීයෙ පොඩ්ඩක් මොළේ පාවිච්චි කරල බලන්නකො.. ඔය ඇග පුරාම පච්ච කොටල මූණ වටේ බමුණො වගේ රැවුල වවල ඉන්න කවුරු හරි දැක්කොත්.. ආන්න අපේ රටේ කිරිකැට ගහන කට්ටිය .. අදුනගන්න ලේසියි” ඔහු කීවේ මහත් විශ්වාසයකිනි.
“අම්මපා බොල.. උඹත් දන්න දේවල්” කියමින් කොල්ලාට සමු දුන් අමරබන්දු වැව්පිටියේ ඒ මේ අත දුවමින් හුන් කොල්ලන් දෙසට ඇදුනේ ඇත්තටම උන් කිරිකැට් ක්‍රීඩකයින්දැයි ඉන්තේරුවෙන්ම දැන ගැනීමේ අපේක්ෂාවෙනි. අමරබන්දු බනියං ඇදගත්තු කොල්ලො දෙසට ළං වුවද උන් අතේ බැදි ඔරලෝසු දෙස බලමින් හැල්මේ වැව් පිටියේ ඉහළ පහළ දිව යමින් සිටීහ. එහෙයින් ඒ එකෙක් හෝ කතාවට අල්ලා ගැනීමට අමරබන්දු යෙදූ උත්සහායන් බොහොමයක් ව්‍යාර්ථ ව ගියේය. එහෙත් ලෙහෙසියෙන් දෙයක් අතහැර නොදමන අමරබන්දු එසේ දුවමින් හුන් කොල්ලකුගේ අතින් ඇද බලහත්කාරයෙන් නතර කළේය.
“අයියෝ.. අංකල්.. මොන වදයක්ද අනේ..” බලහත්කාරයෙන් නතර කර ගත් කිරිකැට් කොලුවා නොරිස්සුමෙන් මෙන් පැවසීය.
“ඇත්තටම මොකක්ද පුතා මේ කොරන්නේ ..?” අමරබන්දු විමසුවේ කුතුහලයෙනි.
“කෑ ගහන්න එපා අංකල්.. අපි මේ ටූ කිලෝමීටර්ස් දුවන්න ට්‍රේනින් කරනවා” ඔහු කෙටියෙන්ම පැවසීය.
“ඉතිං කොල්ලො මේ වැව් පිටියෙ.. ඔහෙලට නැද්ද කොළඹ තණකොළ වවපු පිට්ටනි..?” හෙතෙම නැවතවරක් විමසීය.
“තියෙනවා.. තියෙනවා.. බට් අංකල් ටූ කිලෝමීටර්ස් කළම්බු වල දුවන්න ගියොත් මීඩියා කාරයින්ගෙං බේරෙන්න බැහැ.. දුවල ඉවරවෙලා බිම ඉදගත්තත් පත්තරේ.. වැතිරුනත් පත්තරේ.. අන්තිමට මීඩියා මෑන්ලගෙ කෝචිං වලට තමයි අපිට ට්‍රේනිං කරන්න වෙන්නේ” දිවීමෙන් හොදින්ම හති වැටී හුස්මද තද වෙන්නට යමින් ගමනේ කිරිකැට් කොලුවා මරණය පෙනි පෙනී මෙන් කියාගෙන ගියේය. ඒත් ඒ කියාපු කිසිම දෙමළයක් අමරබන්දු හට වැටහුනේ නැත. එහෙයින් හෙතෙම තවත් ප්‍රශ්නයක් අසුවේය.
“ඇත්තටම මොකටද බං මේ දුවන්නේ.. තෙරෙන බාසාවෙන් කියහංකො?” ඔහු විමසුවේ තරමක නොරිස්සුමකිනි.
“ඇයි අංකල් දන්නේ නැද්ද කොදෙව් දූපත් සංචාරෙට යන්න නං කිරිකැට් ගැහිල්ල කෙසේ වෙතත් මිනිත්තු නවයකින් කිලෝමීටර් දෙකක් දුවන්න ඕනේනෙ.. මළ විකාර” කිරිකැට් කොලුවා කේන්තියෙන් පැවසීය. එවර අමර්බන්දු හට එහි අග මුල කදිමට වැටහුනි.
“ආ… ඒකයි මේ වහුං වෙලා පුහුනු වෙන්නේ.. ඉතිං පුතාලා කිලෝ මීටර් දෙකේ ටැස් එක පාස් උනොත් කොදෙව් දූපතට යන්වද?” හෙතෙම ඇසුවේ ඒ කිරිකැට් කොලුවා පිළිබදව හදේ ඇතිවූ ගැඹුරු අනුකම්පාවකිනි.
“මොනව අහනවද අංකල්.. කිරිකැට් කොහොම වෙතත් හොද ෆොරින් ටුවර් එකක් ගහගන්න තියෙන චාන්ස් එකනේ..” ඔහු දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කිවේය. එහෙයින් අමරබන්දුගේ සිතේ ඒ කිරිකැට් ක්‍රීඩකයා කෙරෙන් ඇතුවූ අනුකම්පාව තවත් උග්‍ර විය.
“අනේ කොල්ලො ගියාට කමක් නැහැ විකට් කූරු තුන කෙසේ වෙතත් බේල්ස් කුට්ටමවත් බේරගෙන ආපහු එන්න බලහං” කියාගෙනම අමරබන්දු ආපසු යන්නට හැරුණෙය.
තිලංග ෆොන්සේකා