අමරබන්දුගේ වාඩිය – බිල්ලට දෙන්න පිරිමි පරාණයක්ම ඕනෑයි කියන්නෙ..

0
662

තණකා අවහවර වූ මීදෙනත් දක්කාගෙන අමරබන්දු එමින් සිටියේ වෙල්යායට මායිම්ව ගළන දොල පාර අසලිනි. එහි ඉස්සර මෙන් කොකාගේ දිගු හොටේ දැක බියේ දගලන දණ්ඩි පැටවු ද හයක් හතරක් නොදැන ඔහේ දගලන ඉස්ගෙඩි ඩැහැගන්නට ජලයේ පිහිනා යන දියනයිද නැත. උන් ඔක්කොමල්ලා කුඹුරට ඉසින ග්‍රැමක්සෝන් බී දිවි නහගෙනය. ඒ වෙනුවට දිය පහරේ ගසාගෙන යන්නේ හි යෝගට් කෝප්ප හා බීම බටය.

“මේ කරුම රසායනිකේ අහවර කොරලා ක්ෂුද්‍රජීවීන්ද මොක්කුද නැති කාබනික පොහොර ගෙන්නන එක නං ජාති වැඩේ” අමරබන්දු තමන්ටම පවසා ගත්තේය. එසේ සිතමින් ඉදිරියට ගමන් කළ අමරබන්දු හට ඈතින් දුටු දර්ශනය හේතුවෙන් සිය දෑතේ වූ මීදෙනගේ කඹයද මොහොතකට අමතක වී ගියේය.

මුහුණපුරා රැවල වවා හිසකෙසද පිළිවෙලකට පීරා හුන් හෙතෙම දුරතියා බලන අමරබන්දු හට පෙනුනේ කඩු කස්ථාන උනා දැමූ උඩරට නිළමේ උත්තමයෙක් ලෙසය. ඔහු දෙකට නැවී ඉදිරියට යාමට උත්සහ කළද ඔහුගේ ගමන තවත් කවුරුන් හෝ පසුපසින් හිද වළකන්නා සේය. ඒ මොහොතේ ඇතිවූ බලවත් කුතුහලය හේතුවෙන්ම හෙතෙම එකී පුදගලායා සිටි ස්ථානයට අඩිය ඉක්මන් කළේ මී දෙනව අසල තිබූ ගසක ගැට ගසමිනි.

අමරබන්දු ළංවත්ම දුටුවේ ඒ අසරණ මනුස්සයාව කවුරුන්හෝ වැට ලීයට තබා ගැට ගසා ඇති සෙයකි.

“ඔහෙ පලයං මොන අසමජ්ජාතියද බොල මේ අහිංසකයව වැටට තියල ගැට ගහපු එකා” කියමින්ම අමරබන්දු එකී පුද්ගලයා වෙත තවත් ළං වී බැලුවේය.

“අප්පොච්චියේ … මේ අපේ අලුත් සුව ඇමතිතුමානෙ” අමරබන්දු වැටට තබා ගැටගසා සිටි පුදගලයාව හොදින් හදුනාගත්තේය.

“කවුද ඇමතිතුමා ඔබතුමාව වැටට තියල ගැටගහපු අසමජ්ජාතියා… විපස්සෙ එකෙක්වත්ද?” අමරබන්දු දිගින් දිගටම ඇසුවේ තම සිතෙහි ඇති වූ උභතෝහෝටිකය විසදා ගැනීමටය.

“අනේ අමරබන්දු උන්නැහේ මෙතනට ආපු එක හොදයි…” අමරබන්දු දුටු ඇමතිතුමාගේ මුවගෙහි ඇදුනේ සැනසුම් සිනහවකි.

“ඇත්තට මොකෝ උනේ ඇමතිතුමා” අමරබන්දු නැවතත් ඇසුවේය.

“අනේ මට නං තේරෙන්නෙ නැහැ අමරබන්දු උන්නැහේ.. ඊයෙ රාත්‍රියෙ දේව මණ්ඩලේ හදිසි රැස්වීමක් තිබිලා උන්නාන්සෙලත් එක්ක පොඩි චැට් එකක් දාල ගෙදර ආවා විතරයි… අපේ ලොකු සර් හදිස්සියෙම කුට්ටම අනලා මට කියපි සවුක්කෙ මට භාර ගන්න කියාලා.. ඒක ඇහිච්ච කලබලේට මගෙ අමුඩ ලේන්සුව බුරුල් උනා කියහංකො.. ඉතිං මම ආපහු අමුඩෙ ඇන්ද විතරයි මතක..යන්න බැහැ නොවැ ඉස්සරහට.

නව සෞඛ්‍යය ඇමතිතුමා පත්වෙලා උන්නු අකරතැබ්බය දුටු අමරබන්දුගේ මුවගට සිනහ පහළ වුවද  එය ආයාසයෙන් සගවා ගත්තේ කරදරයට පත් වෙච්ච හතුරෙකුටවත් සිනහ සීම සුදුසු නොවන නිසාවෙනි.

“අයොයෝ ඇමතිතුමා ඔබතුමා අමුඩෙ ඇදල තියෙන්නෙ වැට පොල්ල එක්කම තියලනෙ ඒකයි ඔය” අමරබන්දු එසේ කීපසු හෙතෙම සිය අමුඩය බුරුල් කොට හිරය ලිහා ගත්තේ ලැජ්ජාවෙන් වටපිට බලමිනි.

“ඉතිං ඇමතිතුමා පුරස්න වලට ලොකු සර්ගෙ කුට්ටම අනල විතරක් හරි යනව යැ.. කොහෙන් කැපුවත් එළියට එන්නෙ එකම කට්ටියනෙ” අමරබන්දු අමුඩය සකසමින් සිටි ඇමතිතුමාගෙන් විමසුවේ පිළිතුරල් බලාපොරොත්තුවෙන්ම නොවේ.

“අනේද කියන්නේ අමරබන්දු උන්නැහේ.. සර් හැමදාම එයාගෙ හිත කලබල වෙච්චි ගමං කුට්ටම අනන්න ගන්නවා හරියට ජෝකර් එළියට ගන්න වගේ ඒත් අන්තිමට වෙන්නෙ අපි වගේ උන්ව හෙණගහද්දි මිදුලට විසික්ක කොරන යකඩෙ වගේ ඉස්සරහට දාන එකනෙ” ඇමතිතුමන් නොරුස්නා ස්වරයෙන් කීයේය.

“මට පේන්නේ ඔය ලැබිච්ච සවුක්කය ඇමතිපට්ටමට ඔබතුමා එච්චර කැමති නැහැ වගේ” අමරබන්දු ඇසුවේ සුව ඇමතිගේ දෑස් දෙස සෘජුව බලමිනි.

“මොන හරුපද ලොකූන්නැහේ… ඔය ඔක්කොම උනේ අපේ ලොකු සර්ට කවුදෝ එකියක් කියපු බොරු අටුවා කතාවක් විශ්වාස කොරලනෙ” හෙතෙම කීය.

“ඒ කිව්වේ” අමරබන්දුහට තවත් ප්‍රශ්නයකි.

“ඔය අටුවා කතාවට අනුව බිල්ලට දෙන්න හොද පිරිමි පරානයක් විතරලු.. ඒකනෙ ඔය කළිං හිටපු දේවියව අයිංකරලා අතපය හතර හොදට තියෙන පිරිමින් පරාණයක්වම සර් හෙව්වේ.. හැබයි මොන මොන බිබික්කම නැතත් අතේ ඇගිළි දහයෙ පුරුක් ටිකනම් හරියටම ඕනෙ කිව්වා..” ඇමතිතුමාට ඇඩෙන්නට වාගේය.

“මම යන්නං අමරබන්දු උන්න්හේ… දෙයියංගෙ පිහිටා..යි” ඔහු අවසන් වශයෙන් අමරබන්දු හට සමු දෙමින් කියා මුහුණද දෙල් ගෙඩියක් මෙන් කොරගෙන යන්නට ගියේය.

තිලංග ෆොන්සේකා

කාටූන්: රංජන් පරණවිතාන