“ශ්‍රි ලන්කන්ස්” (SriLankaNZ) පුවත්පත නවසීලන්තයේ පළවන එකම සහ ප්‍රථම ශ්‍රී ලාංකික පුවත්පත

0
1032

“ශ්‍රි ලන්කන්ස්” (SriLankaNZ) පුවත්පත නවසීලන්තයේ පළවන එකම සහ ප්‍රථම ශ්‍රී ලාංකික පුවත්පත පසුගිය මාර්තු මාසයේදී වසරක් පූර්ණය කළේය. හර්ෂ වීරකෝන් මහතාගේ සංකල්පයක් මත සහ  චරිත් ඒකනායක මහතාගේ එකමුතුවෙන් එළිදැක්වූ “ශ්‍රී ලන්කන්ස්” පුවත්පතේ පරමාර්ථය වන්නේ නවසීලන්තයේ වෙසෙන වැඩිහිටි, තරුණ, ළමා ආදී සියලු දෙනාගේම ප්‍රකාශනයට ඉඩක් ලබා දීම මෙන්ම ඔවුන්ට ඉන් ලැබෙන මානසික සුවයයි. සිංහල හා ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම ලිපි පළවීම නිසා ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, දැනුම ආදී හුවමාරු වීම මඟින් අන් අයටද ශ්‍රී ලාංකිකයන් පිළිබඳ අවබෝධයක් ද ඇතිවේ. සාමාන්‍ය පුවත්පත් රාමුවෙන් මිදී සඟරාමය පුවත්පතක් ලෙස පාඨකයන් වෙත ලැබෙන “ශ්‍රි ලන්කන්ස්” පුවත්පත කිසිදු මුදලක් ඔවුන්ගෙන් අය නොකරයි. පුවත්පත අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අනුග්‍රාහක භවතුන් ගෙන් ඉමහත් පිටුවහලක් මේ සඳහා ලැබෙන්නේය. මුද්‍රිත පුවත්පතෙහි අන්තර්ජාල සංස්කරණයක් ද පළ කරනු ලැබේ. එළැඹෙන ඔක්තෝබරයේ දී ඔවුන්ගේ වෙබ් පිටුවට වසර දෙකක් ද සම්පූර්ණ වේ. “ශ්‍රි ලන්කන්ස්” වෙබ් පිටුවට යූ ටියුබ් නාලිකාවට මුහුණ පොතට ආදී විවිධ සමාජ මාධ්‍යයන්ට ලැබෙන ප්‍රතිචාර මත අන්තර්ජාල පාඨකයින්ගේ ද  සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බැවින් ඔවුන්ගේ පාඨක වත්කම දසදහස ඉක්මවා ගොස් ඇති බව මාධ්‍ය කළමනාකරු චරිත් ඒකනායක මහතා පවසයි. නවසීලන්තයේ පමණක් නොව වෙනත් රටවල පාඨක පිරිසකකින්ද  “ශ්‍රි ලන්කන්ස්” අද වන විට පොහොසත් වී ඇත. එහි ගුණාත්මක භාවය රැකගනිමින් අරමුණු ඉටුකර ගැනීමටත් සංඛ්‍යාත්මක ඉලක්ක සපුරා ගැනීමට හැකි වූ බව පුවත්පතෙහි සුබවාදී අනාගතයක් දකින හර්ෂ වීරකොන් මහතා  පවසා සිටින්නේය.

පුවත්පත ආරම්භයේ හර්ෂ වීරකෝන්, චරිත් ඒකනායක, අනූ වීරකෝන් සහ කේ.ඒ.බී. කරුණාරත්න යන මහත්ම මහත්මීන්ගේ ස්වෙච්ඡා  සේවා දායකත්වය ලැබුණු අතර දැන් ඔවුන්ගේ කණ්ඩායම

කතෘ සහ සංස්කාරක - කේ.ඒ.බී. කරුණාරත්න මහතා
මාධ්‍ය සම්බන්ධීකරණය -  අනූ වීරකෝන් මහත්මිය
දායක සංස්කාරකවරුන් - දිමුතු විජේසූරිය, සඳා අරඹේපොල,  ගවිත්‍රි යටිගම්මන මහත්මීන්
මුද්‍රණ කටයුතු සහ බෙදා හැරීම - හර්ෂ වීරකෝන් මහතා
මාධ්‍ය කළමනාකරු සහ තාක්ෂණික ශිල්පි - චරිත් ඒකනායක මහතා
යන අයගෙන් සැදුම්ලත්ය.

පුවත්පතෙහි කාලීන තොරතුරු මෙන්ම විශේෂාංග ලිපි ද පළ වේ. ඒ සඳහා නවසීලන්ත වාසීන්ගෙන් මෙන්ම ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල්වලින්ද තම  නිර්මාණ, ලිපි එවන පිරිසක් ද සිටිති. ඒ අතරින් වැඩි පිරිසක් පළපුරුදු අය නොවීමද විශේෂත්වයකි. දරුවන් උදෙසාම වෙන්වූ පිටුවක් ද ඇති අතර එය දරුවන් අතර ප්‍රචලිත වෙමින් ඇත. නවසීලන්තය මිශ්‍ර ජනවාර්ගික රටක් වන නිසා අනෙකුත් ජන කොටස්වල සාමාජිකයන් ද පුවත්පතට  ලිපි සැපයීමට උනන්දුවක් දක්වමින් සිටිති.

පුවත්පත, වෙබ් පිටුව, මුහුණු පොත ආදී සමාජ මාධ්‍ය හරහා නවසීලන්තයේ ශ්‍රී ලාංකික හා අනෙකුත් ජනවාර්ගික ප්‍රජා සංවිධාන අතර අදහස් හුවමාරු කර ගනිමින් සම්බන්ධතාවයක් ගොඩනැගෙමින් පවතින බව “ශ්‍රී ලංකන්ස්” හි මාධ්‍ය සම්බන්ධීකරණ  කටයුතු සිදුකරන අනූ වීරකෝන් මහත්මිය පවසා සිටි. මෑතක දී නවසීලන්තය, ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව යන රටවල වෙසෙන පුවත්පතට ලිපි සහ නිර්මාණවලින්  දායක වූ පිරිස සමඟ  පැවැත්වූ අන්තර්ජාල සාකච්ඡාව මඟින් පුවත්පත හා ඔවුන් අතර වූ සබැඳියාව  වඩ වඩාත් තීව්‍ර වූ බව ඇය තවදුරටත් පවසා සිටී. එමෙන්ම ලේඛන කලාව, පද්‍ය රචනය, ඡායාරූප හා සිතුවම් කරණය වැනි විවිධ ඉසව්වල  නිපුන කුසලතා ඇති අය හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා කුළු ගැන්වීමට පුවත්පත හා එහි අන්තර්ජාල ඒකකය මහඟු කාර්යයක් කරමින් සිටින බව සංස්කාරක සහ කතෘ කේ. ඒ. බී. කරුණාරත්න මහතා සඳහන් කරයි.

පුවත්පත ඇතුළු ඔවුන්ගේ අනෙකුත් මාධ්‍ය ගුණාත්මක බවින් ඉහළ තලයකට ඔසවා තැබීමට නන්දෙසින් නිර්මාණ හා ලිපි එවූ සම්පත්දායකයින් ගෙන් ලැබුණු ආලෝකය අතිවිශාලය. ඔවුන්ගේ නිර්මාණකරණයට වැඩි ඉඩකඩක් සපයා දීම සඳහා දැනට ද්වි මාසිකව ප්‍රකාශයට පත් කරන පුවත්පත මාසික ප්‍රකාශනයක් කිරීමට “ශ්‍රි ලන්කන්ස්” කණ්ඩායම ඉමහත් අපේක්ෂාවකින් පසුවෙයි.  “ශ්‍රී ලන්කන්ස්” මාධ්‍ය කළමනාකරු මෙන්ම තාක්ෂණික කටයුතු මෙහෙයවමින් අනගි මෙහෙවරක් ඉටු කරන චරිත් ඒකනායක මහතාගේ අදහසවන්නේ මුද්‍රිත හා අන්තර්ජාල සංස්කරණය, වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ඒකක තවදුරටත් විවිධාංගීකරණය කර දියුණු කරමින් ඔබට නැවුම් බවක් ලබා දීමටය.

වෙබ් අඩවිය – www.srilankanz.co.nz

https://www.srilankanz.co.nz/editorial-team