වසරේ වැඩිම විදෙස් ආදායම (කෝටි 1.5) ඉපයූ ශ්‍රී ලාංකේය චිත්‍රපටය අද සිට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට

0
1165

ශ්‍රී ලාංකේය ඩයස් පෝරාව ඉලක්ක කොට ගනිමින් 2021 වසරේ විදෙස් රටවල ප්‍රදර්ශනය කළ ශ්‍රී ලාංකේය චිත්‍රපට 10 (කවුරුවත් දන්නෙ නෑ, ගින්දරී 2, මිස් ජෙනිස්, ද නිව්ස්පේපර්, ඇවිලෙන සුළුයි, හිතුමතේ ජීවීතේ, සුනාමි, කබඩි, කොළඹ, තට්ටු දෙකේ ඉස්කෝලේ) අතුරින්;
*වැඩිම අදායමක් ඉපයූ
*වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නැරඹූ
*වැඩිම දර්ශන වාර සංඛ්‍යාවක් පැවැත්වූ සහ
*වැඩිම දර්ශන වාර සංඛ්‍යාවක් හවුස්ෆුල් වූ
යන වාර්තා සියල්ලටම හිමිකම් කියූ බෙනට් රත්නායකගේ “කවුරුවත් දන්නෙ නෑ” (Nobody Knows) චිත්‍රපටය හෙට (22) සිට මෙරට සිනමා ශාලා තුළ තිරගත වීමට නියමිතය.

2021 වසරේ ජනවාරි 31 දින මෙල්බර්න් නගරයෙන් විදෙස් ප්‍රදර්ශනය ඇරඹූ “කවුරුත්වත් දන්නෙ නෑ” චිත්‍රපටය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව තුළ පැවැත්වූ දර්ශන වාර සංඛ්‍යාව 29 ක් වූ අතර, එයින් දර්ශන වාර 19 ක් හවුස් ෆුල් විය. එරටදී චිත්‍රපටය නැරඹූ මුළු ප්‍රේක්ෂක සංඛ්‍යාව 2,534 කි. නවසීලන්තය තුළ දර්ශන වාර 10 ක් පැවැත්වූ අතර, එයින් දර්ශන වාර 5 ක් හවුස්ෆුල් විය. එරටදී චිත්‍රපටය නැරඹූ මුළු ප්‍ර්‍රෙක්ෂක සංඛ්‍යාව 829 ක් විය. එංගලන්තයේදී පැවැත්වූ දර්ශන වාර දෙකෙන් එකක් හවුස්ෆුල් වූ අතර, එරටදී චිත්‍රපටය නැරඹූ මුළු ප්‍රේක්ෂක සංඛ්‍යාව 103 කි. ඒ අනුව විදෙස් රටවල් තුනක් තුළ සංවිධානය වූ දර්ශන වාර 41 කදී (25 ක් හවුස්ෆුල්) 3,466 ක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් “කවුරුවත් දන්නෙ නෑ” චිත්‍රපටය නැරඹූ අතර, ඒ හරහා ඉපයීමට සමත් වූ මුළු දළ අදායම ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි පනස් එක් ලක්ෂ අසූ අට දහස් එකසිය දහයකි (15,188,110). ඒ අනුව ආගමික හෝ වෙනත් සමාජීය කටයුත්තක් උදෙසා අධාර රැස්කිරීමේ පරමාර්ථයකින් තොරව, විදේශයන්හී ප්‍රදර්ශනය කළ ශ්‍රී ලාංකේය සිනමාපට අතුරින් එදා මෙදා තුර වැඩිම අදායමක් ඉපයූ චිත්‍රපටය “කවුරුවත් දන්නෙ නෑ” වේ.

මාලක යාපා සභාපතිත්වය උසුලන “Mega Live Events” නම් වූ සංවිධානයේ මූලිකත්වයෙන් සහ තිලක් බොලුකඳුරේ (Sathsara Entertainment), සචිත් ගුණරත්න (Ceylon Entertainment), ක්‍රිෂාන්ත හෙන්නායක යන පාර්ශවයන්ගේ සහයෝගයෙන් ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ සහ එංගලන්තයේ බෙදාහළ “කවුරුවත් දන්නෙ නෑ” චිත්‍රපටය , ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමේ අයිතිය ජාතික චිත්‍රපට සංස්ථාව හිමිකාරිත්වය දරන රිත්මා මණ්ඩලය සතුවේ.

ඕස්ට්‍රේලියානු ඩොලරය, නවසීලන්ත ඩොලරය හා බ්‍රිතාන්‍ය පවුම, ශ්‍රී ලාංකේය රුපියලට හුවමාරු වීමේ වාසිය හේතූවෙන් රුපියල් කෝටි 1.5 ක ආදායමක් විදෙස් තිරගත කිරීම් හරහා ඉපයීමට “කවුරුවත් දන්නෙ නෑ” චිත්‍රපටය සමත් තිබුණද, රට තුළ වර්තමානයේ පවතින ආර්ථික හා සමාජීය වතාවරණය හේතුවෙන් හෙට සිට තිරයට එන “කවුරුවත් දන්නෙ නෑ” චිත්‍රපටය මෙරටදී එතරම් අදායමක් උපයා ගැනීමට සමත් වේද?
Film Trailer: https://youtu.be/NKwJ_gv–KM

ප.ලි
බෙනට් රත්නායකගේ අධ්‍යක්ෂණය යටතේ අවසන් වරට තිරගත වූ “නෙලා” චිත්‍රපටය 2018 දී මෙරට සිනමාශාලා තුළ තිරගත කිරීමෙන් ඉපයීමට සමත් වූ මුළු අදායම (බදු අඩු කළ පසු) එක් කෝටි විසි හත් ලක්ෂ තුන් දහස් විසි දෙකකි (12,703,022)/ නැරඹූ සංඛ්‍යාව 47,244
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි Udithe Lakmal Kahandawaarachchi