කොරෝනා වසංගතයෙන් මදි නොකියන්න බැට කා සිටි අමරබන්දුගේ නිවසේ මුළුතැන්ගෙයි ගෑස් ටැංකිය පුපුරා ගෙදර මායියා ඉන් දිවි ගළවා ගත්තේ පෙර කළ පිනකින් වාගේය. ගෑස් බෝම්බවලට බියේ නැවතත් ඔහුගේ නිවසේ බත පිසෙන්නේ දර ලිපට පින් සිද්ධ වන්නටය. “දර ලිපේ උයන්නත් කෝ හාල්” මායියා කන් කෙදිරි ගෑවේ අමරබන්දු විසින් පකිස්තාන් බාස්මතී හාල් කිලෝවක මිලට නාඩු හාල් සේරුවක් ගෙදර ඇන්න ගිය දිනයේය. ඒ මදිවට කෙල්ලන් දහදෙනාට අමතරව අමරබන්දුගේ නගාගෙ බාල කොලුවා ගෙදරත් එක්ක තරහ වී අමරබන්දු සොයා පැමිණියේ ඉස්කෝලෙ යාම මග නවතා දමා අමතර ආදායමකට කියා ගෑස් පෝලිම්වල කුලියට හිටගෙන හිද ගෙදරට හසු වී දෙමහල්ලන් සමග ජල්ලි අල්ලා හිත් කහට කර්ගෙනය. දැන් කෙල්ලන්ට අමතරව බත් මිටක් කටට වැටෙන තුරු අමරබන්දුගේ ගෙදර ඌත් බලා හිදියි.
රූපවාහිනිය රේඩියෝව දමන්නට්ද බැරිය, ඉතිරි අවුරුදු තුනේ පොරොන්දු වූ සියල්ල ඉෂ්ඨ කරනවා කරනවා කියා ගිගුම් දෙන සිංහ නාදය. මේ සියල්ලකින් හෙම්බත් වී මුහුණද කළු කරගත් අමරබන්දු ගෙපිල් පඩියේ ඇණ තියා ගත්තේ වෙන කළ හැකි කිසිවක් ඉතිරිව නොමැති කලක මෙනි. එහෙත් ඔහුට එසේ සිටීමට ලැබුණේ මද වේලාවක් පමණි. ගෙතුල කුස්සි මුල්ලේ, සාලයේ, ඇදං මුල්ලේ ගෙදර එවුන්ම “අප්පොච්ච්ට ඩිප්‍රෙෂන්, ඩිප්‍රෙෂන්” යැයි ඇරඹි කසු කුසුව ඇසුණු අමරබන්දුගේ හිසට නැගුණු යකාට මුළුතැන්ගෙයි තිබූ වම්බටු කුට්ටි කොට නොව අමුවෙන්ම කන්නට දොළක් උපන්නේය. ඉන් ප්‍රථම හෙතම නිවසින් පිටතට පැන ගත්තේ හිස හැරුණු අත යෑමටය.
ඔහේ ඇවිද ගිය අමරබන්දු ලන්දට රීටුවේ නිවෙසෙදී කරගන්නට අතපසු වූ බරක් සැහැල්ලු කරගැනීමේ රිසියෙනි. එදින අමරබන්දු හට එතරම් සුබ දවසක් නොවීය. ගිය කාරියද පසෙක ලා ලන්දෙන් පිටතට පැන ගත්තේ කවුරුන් හෝ පදුරු අස්සේ සැගව තමන් කොරන්නට ගිය දේ රහසේ බලාන උන් අසහනකාරයෙක් දුටු බැවිනි.
“තොට අසහනෙද යකෝ.. වයසක මිනිහෙක්ට නිදහසේ දොට්ට පිළට යන්න විදිහක් නැහැ නොවැ” අමරබන්දු බෙරිහන්දෙන්නට වූයෙන් පදුරු තුල සැගව හුන් හැඩි දැඩි මිනිසා ද ඉන් ඉළියට පැන ගත්තේ අමරබන්දුගේ කට වසනු පිණිසය.
“අනේ අංකල් කෑ ගහන්න එපා කියන තැනකට වදින්නං” කියමින් අමරබන්දුගේ ලතෝනිය හමුවේ රහස් මිනිසා බැගෑ පත් වන්නට වූයේය.
“අංකල් .. කවද්ද බොල මම උඹෙ අංකල් උනේ..” අමරබන්දුගේ හිසට ආරූඪ වී සිටි යකා එසේ මෙසේ එකෙක් නොවන හැඩය.
“අනේ.. අනේ.. අංකල් මම මේ රාජකාරියක් කරන්නේ.. කෑ ගහන්න එපා” ඔහු නැවතත් පින්සේණ්ඩු වන්නට වූයේය. ඉන් අමරබන්දුගේ කේන්තිය තවත් උග්‍ර විය.
“මේ පදුරු අස්සේ හැංගිලා මොන රාජකාරිද බොල.. බලු අසහනකාරයො” ඔහු නැවතත් බැන වැදීය.
“ඔය.. කිව්වට අහන්නේ නැහැනෙ” මම මේ උත්තම රාජවාසලෙන් නියම කොරාපු රාජකාරියක් අංකල් මේ කරන්නේ.. අනේ කෑ ගහන්න එපා” ඔහුගේ වදනින් අමරබන්දු තරමක් සැහැල්ලු වූයේය.
“මොන රාජකාරිද බං මේ ලන්ද අස්සෙ” අමරබන්දු විමසුවේ තරමක සැකයෙනි.
කරකියාගන්නට දෙයක් නොමැති කල රහස් මිනිසා තමන් සැගව හුන් පදුර ඈත් මෑත් කොට අමරබන්දු හට පෙන්වීය. ලන්ද තුල ගැට ගසා සිටි නරි රැලකි. එය දුටු අමරබන්දුට සිනහ පහළ විය.
“මේ මොකෑ බොල මේ කැලේ හූ කියන නරි රැල ගැටගහල තියෙන්නේ.. මුං මොන වරදක් කළාටද” ඔහු නැගුණු සිනහව අතරින් විමසීය.
අපේ රජවාසලේ ඉහළ පුටුවල වැජඹෙන උත්තමයින්ට පාරෙදි හූ කියලනේ, ඒ නිසා රජවාසලෙන් ඕර්ඩර් දීල තියෙන්නෙ මේ හැම අස්සක් මුල්ලක් නෑර ඉන්න හූ කියන එකාල කුදලං එන්න කියලා..ඒකයි මේ” රහස් මිනිසා එසේ පැවසූ හෙයින් අමරබන්දු කොක් හඩ දී සිනහසුනේ එම විහිළුව ඔහුගේ මනස විරේක කරන්නටද සමත් එකක් බැවිනි.
තිලංග ෆොන්සේකා
කාටූන්: රංජන් පරණවිතාන