රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට ජනපති අවධානය

0
483

ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. මෙහිදී ජනාධිපතිතුමන් වැඩිදුරටත් පවසන්නේ දේශීය ආර්ථිකය ආරක්ෂා කිරීමට පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීම සදහා පවතින තත්ත්වය ලිහිල් කිරීම අත්‍යාවශ්‍ය බවයි.

දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂා වන අයුරින් සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතු බවට ජනාධිපතිතුමන් මෙහිදී උපදෙස් දී ඇත. රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ ඊයේ (15) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති විශේෂ හමුවක දී ජනාධිපතිවරයා මෙම කරුණු අවධාරණය කර තිබේ.

රාජකාරි කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යා හැකි අන්දමින් ඇඳිරි නීතිය ලිහිල් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමුව ඇත. ජනතාවට ඒකරාශී වීමට ඉඩ නොතබා නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සේවා කටයුතු පවත්වා ගෙන යාමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් වෙත මෙහිදී පැවරී තිබේ.

කෘෂි, ධීවර සහ ව්‍යාපාර ඇතුළු කර්මාන්ත ආයතන යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමේ දී ඊට අවශ්‍ය සහාය අමාත්‍යාංශ වෙතින් ලබා දීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිතුමන් විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට මෙහිදී දැනුම් දී ඇත.