අමරබන්දුගේ වාඩිය – පන්සලේ බුද්ධ පූජාව ගිළින බහිරවයා..

0
837

අමරබන්දු පන්සල් භූමියට ඇතුලුවී ආවසගේ අසලට යන විටත් ලොකු හාමුදුරුවන් ගේ හා රාළහාමි ගේ සංවාදය ආරම්භ වී තිබුණි. රාළහාමි පන්සලේ ආවතේවෙට සිටිනා කොලුවා වුවද ඒ මොහොතේ ඔහුගේ හඩ ලොකු හාමුදුරුවන්ගේ හඩද පරයා යන තරමට නාද දුන්නේය. ලොකු හාමුදුරුවො වැනි සීලයෙන් ගුණයෙන් උත්තම පුරුෂයෙක් ඉදිරියේ රාළහාමියා මෙතරම් බෙරිහන් දෙන්නේ මන්දැයි තමන් කරන්නට පැමිණි කාරනයද මදකට පසෙක තැබූ අමරබන්දු ඉන් උපන් කුතුහලය හේතුවෙන්ම අරලිය ගහට මුවා වී සිදුවන්නේ කුමක්දැයි විපරම් කර බැලුවේය.

“මේ වැඩේ නං තවත් කරන්න බැහැ.. ලොකු හාමුදුරුවනේ..” රාළහාමි කෑමොර දෙයි.

“මොකක්ද වෙලා තියෙන්නෙ රාළහාමි.. කලබල නැතුව කිව්ව නං?” ලොකු හාමුදුරුවන්ගේ හඩේ කිසිදු කැළැඹිලි ස්වරයක් නොතිබුණි.

“මේ හොරා කන එව්වංව අලන්න විදිහක් කියන්නකො ලොකු හාමුදුරුවනේ..”

“මොනවද රාළහාමි වෙලා තියෙන්නෙ..?” උන්වහන්සේ නැවතත් පහන් ස්වරයෙන් විමසූහ.

“මහ අසමජ්ජාති හැතිකරයක් මුං නං .. දැං හැදෙන එවුන්ගෙ කිසිම චාරයක් නැහැනෙ අපෙ හාමුදුරුවනේ..බලන්ටකෝ..” රාළහාමිගේ ඝෝරනාඩුවෙන් සිදු වී තිබෙන්නෙ කුමක්දැයි අමරබන්දු හට අගක් මුලක් ගළපා ගැනීමට පහසු නොවීය.

“ටක්කෙටම පිට ගං කාරයෙක් පන්සලේ පිං කැටේ උස්සං යන්න ඇති..” අමරබන්දු තනිව සිතුවේය.

“මොකද රාළහාමි මේ බෙරිහන් දෙන්නේ.. තව ඩිංගෙං ගමේ මිනිස්සුත් පන්සලට දුවගෙන එයි.. රාළහාමිගෙ කටේ සද්දෙට” උන්වහන්සේ සියුම් සිනහවකින් මුව සරසාගෙන වදාළහ.

රාළහාමි කොළුවා සිය දෑතෙ වූ හිස් හිස් භාජන පෙන්වමින් තවදුරටත් කෑ ගසයි.

“බුදුන්ට පුදන බුද්ධපූජාව හොරෙං කන්න තරං අසමජ්ජාති ඉන්නවනෙ මේ ගමේ.. ආගමක් සදාචාරයක් නොදන්න පර හැත්ත..” රාළහාමි හිස් පිත්හල භාජන ඔසවමින් බෙරිහන් දෙන්නේය.

ඔහු පැවසූ දේ ඇසුනු ලොකු හාමුදුරුවෝ ඉතාමත් විමසිල්ලෙන් මදක් නැවී රාලහාමි ගේ දෑතේ වූ හිස් පිත්තල භාජන දෙස බැලූහ.

“බුද්ධ පූජාවෙ ඔක්කොම කැවිලි කාලද රාළහාමි?” උන්වහන්සේ විමසූහ.

“එක බත් ඇටයක් ඉතිරි කරල නැහැ.. පාත්තරේ ඇගිල්ලෙං හූරගෙනම කාල හරියට පෙරේත්යෙක් අත ගාල වගේ… කවද වෙච්චි දේවල්ද අම්මපා මේ?” රාළහාමි කොලුවාගේ ස්වරයේ ගැබව තිබුණේ දැඩි අප්‍රසාදයකි.

“කී දවසක් තිස්සෙ මෙහෙම වෙනවද රාළහාමි? ” ලොකුහාමුදුරුවන්ගේ පහන් හඩේ කිසිදු කලබලයක් නොවීය.

“පහුගිය දවස් දෙක තුනේම මෙහෙම තමයි හාමුදුරුවනේ..”

උන්වහන්සේ මද වේලාවක් හිස් භාජන දෙස දැඩි විපරම් බැල්මක් හෙලමින් කල්පනා කරන්නට වූහ.

“රාළහාමි මේ වැඩේ අපේ ගමේ මනුස්සයෙක් කළා වෙන්න බැහැ.. ඒ මිනිස්සු කරදරයකදි අමාරුවකදි අල්ලපු ගෙදරින් ඉල්ලනව නැත්තං බැරිම උනොත් පන්සලෙං ඉල්ලනව.. කොටින්ම හිගන මනුස්සයෙක් කළා වෙන්නත් බැහැ මොකද හිගන්නෙක් උනත් කෑවොත් තවත් උන්ගෙ වගේ එකෙක්ට පිඩක් ඉතිරි කරල මිසක් යන්නෙ නැහැ” උන්වහන්සේ රාළහාමිගේ ගැටලුව ටිකෙන් ටික ලිහන්නට වූහ.

“එහෙනම් හාමුදුරුවනේ කවුරු මේ අසමජ්ජාති වැඩේ කළා වෙන්න ඇතිද” රාළහාමිගේ මුහුනේ ඇදුනේ දැඩි විමසුම් සේයාවකි.

“රාළහාමි පහු ගිය දවස් ටිකේ රේඩියෝවෙ ප්‍රවෘත්ති ඇහුවද.. ඇහුනෙ නැද්ද පාර්ලිමේන්තුවේ උත්තමයො ඒ අයගෙ ආර්ථික අපහසුතා ගැන කියනවා.. සමහරු ඒ අයගෙ නෝනා මහත්තුරුන්ගෙ පඩියෙන්ලුනෙ ජීවිතේ ගැට ගහගන්නෙ, තවත් සමහරුංගෙ මුළු මන්ත්‍රී පඩියම ණයට කැපෙනවයි කිව්වෙ” උන්වහන්සේ වදාරන විට රාලහාමි කොලුවා සිටියේ මහත්සේ පැටලීගෙනය.

“ඒ කිව්වෙ හාමුදුරුවනේ” ඔහු අන්දමන්දව විමසීය.

“ඔය අදෝනා ඇහුන දවසෙම තමයි මම හිතුව ඔය උත්තමයො ටික ඒ අයට තියෙනව කියන ප්‍රශ්නත් එක්ක වේලක් පිරිමහ ගන්න පන්සලේ බුද්ධ පූජව කන්නත් එයි කියලා.. ඉතිං බලන්නකො රාළහාමි ඔය භාජන දිහාව.. පාත්තරේ අඩියටම හූරගෙන කාල තියෙන විදියෙංම වැටහෙන්නෙ නැද්ද ඕක පාර්ලිමේන්තු උත්තමයො නැති බැරි කමට කරපු දෙයක් කියල.. අනික අනුන්ගෙ දෙයක් අඩියටම හූරගෙන කන එක ඔය උත්තමයංගෙ ජන්ම ගතියනෙ රාළහාමි, ඒ දේ රාළහාමිගෙද බුදුන්ට පුදපු පූජාවක්ද කියන එක ඒ උත්තමයන්ට අදාලම නැහැනෙ.” පැවසූ උන්වහන්සේ එතැනින් වැඩම කරන්නට වූ අතර තව දුරටත් උන්වහන්සේ රාළහාමි අමතා මෙසේද වදාළහ.

“රාළහාමි හෙට ඉදං බුද්ධ පූජාව ලොකු පාත්තර දෙක තුනක ටිකක් යහමිං තියන්න හොදයි, ඔය අසරණයින්ට බඩ කට පුරා කන්න. නැත්තං මේ අමාරු කාලෙ ඔය මිනිස්සු ගමේ අසරණයින්ගෙ බත් මුට්ටිය උස්සගෙනත් යයි.” යැයි උන්වහන්සේ වදාරන විට රාළහාමි අන්දුන්කුන්දුන් වී හිස් කැසුවා මිස වෙනත් කිසිත් කියන්නට නොගියේය.

තිලංග ෆොන්සේකා

කාටූන්: රංජන් පරණවිතාන