සංචාරක ක්ෂේත්‍රය යළි නඟාසිටුවීමට කඩිනම් පියවර

0
552

සංචාරක ක්ෂේත්‍රය නඟාසිටුවීමට අදාළව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බවත් එම ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් සහන ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරක හා හෝටල් ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සහ එම ක්ෂේත්‍රය යළි යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවේදීය.

එහිදී සංචාරක ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ අවධානය යොමු වූ අතර සංචාරක වීසා ගාස්තුව, දේශීය සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, විදේශීය සංචාරකයින් සඳහා රට විවෘත කිරීමේ දී අනුගගමනය කළ යුතු ක්‍රියාමාර්ග, සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා අරමුදලක් ආරම්භ කිරීම ආදී කරුණු රැසක් සාකච්ඡා විය.

සංචාරක වීසා ගාස්තුව ඩොලර් 35 සීමාවෙහි රඳවා ගන්නා ලෙස ද එහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

තවද, කොවිඩ් -19 වසංගත තත්ත්වයෙන් පසු යළිත් සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට ගෙනඒම සඳහා වනෝද්‍යාන විවෘත කිරීමේ දී විධිමත් ක්‍රමවේදයකට අනුව කළ යුතු බවත් පාරිසරික උවදුරු අවම කරගනිමින් හා සත්ව හිංසනය නොවන අයුරින් එම කටයුතු සිදුකළ යුතු බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නේය.

මෙම අවස්ථාවට සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත රත්නායක, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති කිමාලි ප්‍රනාන්දු, කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරිකයින්ගේ සංගමයේ හිටපු සභාපතිවරුන් වන මර්වින් ප්‍රනාන්දුපුල්ලේ, රොහාන් අබේවික්‍රම සහ වර්තමාන සභාපති ජස්ටින් කරන්දවල, ශ්‍රී ලංකාවේ සංචාරක නියෝජිත සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී චන්න විජේමාන්න, Sri Lanka Association of Professional Conference, Exhibition & Event Organizers හි සභාපති නලීන් ආරියරත්න, Sri Lanka Association Of tour Operators හි සභාපති මහේන් කාරියවසම්, board Of Air Lines Representative හි දිමුතු තෙන්නකෝන්, එමිරේට් ගුවන් සේවයේ ශ්‍රී ලංකාවේ කළමනාකරු චන්දන ද සිල්වා ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

 

[convert number=49.99 from=”gbp” to=”usd”]