මැටි හට්ටියේ හොදි මණ්ඩිය බතේ අනාගෙන කන්න අමරබන්දු කවදත් රුසියාය. ඒ වග දන්නා ඔහුගේ ගෙදර උන්දෑ ඉතිරි වූ ව්‍යංජන ඩිංගිත්ත බතේ අනා ඔහුට දික් කළේ ඇගේ කණ වැකුනු ඕපාදූපයක් ද කියාගෙනමය.
‘අර සෝමා අක්කගේ ලොකු කෙල්ලටත් වයිරසේ බෝ වෙලා කියන්නෙ’ ඇය කීවේ ඔලොක්කුවට මෙනි.
‘ඉතිං’ අමරබන්දු කරබාගෙන අනාගත් බත් ගුලි ගිල්ලේ ඇගේ ඕපාදූපය ඇසුනු නෑසුනු තරමටය.
‘ඉතිං කියන්නේ… මතක නැද්ද අපේ කෙල්ල මැසිම පාගන්නෙ ගමේ පැක්ටේරියේය ඒකිගෙ එකී කොරන්නෙ කොළඹය කියල මහ උජාරුවට හන්දි හන්දි ගානේ පාරම් බෑවෙ, දැන් ඔය කොරගෙන තියෙන්නෙ මහ ලොකුවට කොළඹ කියල ගොහින්’ ඇය සිහිපත් කළේ ආරූඪ කොටගත් කේන්තියකිනි.
‘ඔහේ කොහොමද දන්නේ ඒකිට වයිරසේ බෝ වෙලා කියලා.. මුසාවක් වෙන්න ඇති’ අමරබන්දු පැවසුවේ ගණනකට නොගනිමින්ය.
‘ඔහේ දන්න ඉටි ගෙඩිය. ඇයි අනේ අර ප්‍රවෘත්ති මහත්තුරු ටී වී එකෙත් කිව්වෙ. ඒකි ගෙදරනේ හැංගිලා ඉදල තියෙන්නෙ.
ප්‍රවෘත්ති මහත්තුරු කොළඹ ඉදල මහා මෙහෙයුමක් කොරලලු ඒකිව කොටු කරගෙන තියෙන්නෙ.
‘මේකි ගෙදෙට්ටම වෙලා හිටියට නොදන්නා දෙයක් නැති හැටි’ එවර අමරබන්දුහට සිය ගෙදර උන්දැ පිලිබදව ඇතිවූයේ සියුම් ආඩම්බරයකි.
ඔහෙ කොහොමෙයි මෙච්චර හරියක් දන්නෙ හැබෑටම, අමරබන්දු ඇසුවේ විමතියෙනි.
මේ ඔහේ මොනව අහනවැයි, ඔහේ කොළඹගිහින් අර බෝම්බ කොමිසමේ වැටෙන් රිංගන ඩිංගිත්තට මෙහෙ මොනතරම් දේ වුනාද?
අම්මේ මෙහේ පදුරක් පදුරක් ගානෙ ප්‍රවෘත්ති මහත්තුරු කැමරා අටවල තිබ්බේ. සමහර තැන්වල ඒ ඇත්තො වෙස් වලාගෙනත් ඉදල තියෙනව කියන්නෙ. ඔහෙට කියන්න ළමයින්නෙ තාත්තෙ, මේකි ගෙදර ඇද යට හැංගිලා ඉන්දැද්දි මේං මෙහෙම අතදාල බෙල්ලෙන් අල්ලලානෙ එළියට ඇද්දේ’ ගෙදර උන්දැ සිද්ධිය ත්‍රාසජනක හොලිවූඩ් චිත්‍රපට ජවනිකාවක් මෙන් විස්තර කරන අන්දම අමරබන්දු නෙත් කන් යොමා සිටියේ ගිළිමින් සිටි බත් ගුලිය සැපීමද මදකට නවතාලමිනි.
ප්‍රවෘත්ති උත්තමයො නැතිවෙන්න මේ බොන්ඩි ඒකිගෙ වයිරසේ මුලු ගමටම බෝ කරලා. ඇය පැවසුවේ මහත් ආවේගයකිනි.
එතකොට ඕකි ඇදන් අස්සෙ හැංගි හැංගි හිටියෙ කාට බයේද ආණ්ඩුවෙන් උන්ගෙ දේපල රාජ සන්තක කරයි කියලද? අමරබන්දු විමසුවේ විශ්මයෙනි.
මොන පිස්සුද, ඕකි හැංගිලා ඉදල තියෙන්නෙ ප්‍රවෘත්ති මහත්තුරුන්ගෙ කැමරාවට බයේ කියන්නෙ. ඇය කීවේ මහත් විශ්වාසයකිනි.
අප්පේ බලන්න එපායැ ඒ උන්දැලගෙ කැමරා වල තියෙන ගාම්භීරෙ හරියට කැලේ වල් ඌරන්ට බදින ගිණිපොල්ල වගේ, බයිනෙත්තු කැලේ. ඇය කීවේ හූමිටි තියමිනි.
‘ගෙදර කවුද, අපි නීතිය කරන කන්තෝරුවෙන්, දොර අරින්න කඩන්න කලින්’ එළිපත්තේ සිට කවුරුන්හෝ බෙරිහන් දෙන හඩින් අමරබන්දුගේ හා ගෙදර උන්දැගේ විනෝදසමය මදකට නිමා විය.
කලබලයට ඉදුල් අත සරමේ පිස දමා ගත් ඔහු කඩි මුඩියේ දොර වෙත දිවගියේය.
‘ක..කවුරු කිව්වා’ අමරබන්දුගේ සිත සැලෙයි.
‘දොර ඇරපන් මිනිහෝ, අපි නීතිය කරන කන්තෝරුවෙන්’
අමරබන්දු දොර විවර කළේය. නීතිය කරන කාකි පැහති මහත්තුරු රැලක්ම ඔහුගේ ගෙතුලට කඩා වැදුනි.
‘අපිට තමුන්ගෙ ගේ පරීක්ෂා කරන්න ඕනෙ, කාකි කමිසයට උඩින් හරහ කළු පටියක් පැළද හුන් මහතැන් ගිගුරුවේය.
එසැණින් නීතිය රකින කාකි මහත්තුරු අමරබන්දුගේ නිවස කණ්පිට පෙරළන්නට පටන්ගත්තෝය. සාලෙ පුටු යට, ඇදන් යට, කුස්සියේ හිරමනය යට, කුල්ල යට, නෑඹිලියෙ දාරයක් ගණනේ කුමක් හෝ සොයන්නට වූහ.
‘මොනවද මහත්තයො හොයන්නේ… අපේ කාටවත් වයිරසේ බෝ වෙලා නැහැනෙ’ සිදුවන්නේ කුමක්දැයි කිසිත් වටහා ගැනීමට නොහී අමරබන්දු මහත් බයාදු හඩින් විමසුවේය.
ඔහේගෙ ගෙදර විතරක් නෙවෙයි උනැනැහේ අපි කණ්ඩායම් හයක් මුළු රටේම ගෙවල් පීර පීර හොයනවා. කාකි මහත්තයෙක් කීය.
කාවද මහත්තයා? අමරබන්දු ඇසීය
“ඇයි ඕයි රටේ තොටේ දේවල් ගැන සිහියෙන් නෙවෙයිද ඉන්නේ? අපි මේ පණ දාගෙන හොයන්නෙ අපිට වෙට්ටු දදා හැංගිලා ඉන්න…. කියන විට අමරබන්දු කතාව මැදින් පැන්නේය.
“වයිරසේ බෝ කරගත්ත එකෙක්ද සෑර්” කාකි උත්තමයාගේ කතාවට මැදින් පැන්න අමරබන්දු හට තව කට දාන්න ගියහොත් වැඩේ වරදින බව වද මලක් මෙන් රක්ත වර්ණ වී කේන්තියෙන් පිපෙන්නට වූ කාකි මහත්තයාගේ මුහුණ දැකීමෙන් ස්ථිර විය.
“පිස්සුද අයිසෙ.. වයිරස් බෝ කර ගත්තු එවුන්ව හොයන්නේ ප්‍රවෘත්ති වාර්තා කරන මහත්තුරුනේ, අපි මේ හොයන්නෙ දේශපාලන උත්තමයෙක්ව. ඒ යක්ෂයා හැංගෙන තැන ගෙදර ගෑණිටවත් කියල නෙවෙයිනෙ ගිහින් තියෙන්නෙ. දැන් ඉතින් උසාවියෙන් ඒකව අත් අඩංගුවට ගන්න එපා කියලා නියෝගයක් එනකල් මේ යකාව අපි හොයන්න එපැයි.
අමරබන්දුගේ කුස්සියේ සැගව හුන් දේශපාලකයෙක් තියා පාර්ලිමේන්තු බිත්තියේ එල්ලෙන හූනෙක් වත් නැති බව ටක්කෙටම සහතික කර ගත් නීතිය රකින කාකි මහත්තුරු කණ්ඩායම ගුරුපාර දිගේ විමලෙ මලයලාගේ නිවස වෙත ඇදෙනු දැක අමරබන්දු දොරකඩට වී “අනේ අනිච්චං’ යයි කියා හීල්ලුවේය.
මේ අතර දවස පුරා රුසියන් සුරංගනා කතා කටපාඩම් කරන අමරබන්දුගේ මද්දුමී මෙසේ කීවාය
“ඔය දේශපාලකයා හොයන වැඩේ බාබායිගා යකින්නට පැවරුව නම් වැඩේ ඉවරනේ, එයා මැජික් කොස්සෙන් බිරියෝසා ගස් අඹරගෙන අහසින් ගිහිල්ලා ඕකව බෙල්ලෙන්ම අල්ලාගෙන එනවනේ” ඉන් අමරබන්දුහට සිනහ පහල විය.
තිලංග ෆොන්සේකා