ඒ කතාවට බෲටස්ටත් ලැජ්ජ හිතිලා

0
877

වයිරසේ රටේ හතර අත ආයෙත් පැතිරෙන්න ගත්තැයින් අමරබන්දුගේ වඩු මඩුවට වැඩ අඩුය. මෙහෙම ගියොත් වයිරසේ වැළදෙන්න කළින් බඩ ගින්නෙ මැරෙන්න වෙන්නේ යැයි කිහිපවරක් ගෙදර උන්දැ කුස්සියේ සිට තමන්හට ඇසෙන්නට කීවා ඔහුට විඩෙන් විඩේ සිහිපත්වේ. එනයින් අමරබන්දුහට වැඩ අඩු වුවත් සිතන්නට නම් බොහෝ දේ තිබුණි. ඔහු යතුකැටය පැත්තකින් තබා මඩුවේ එළිපත්තේ ඇණතියා ගත්තේ සිතන්නටය. ඔහේ කල්පනා ලොව පාවී යමින් සිටි අමරබන්දු මඩුවේ සාදා නිම කළ දොර පියන් අතරේ සැගව සිටිනා මිනිසා දැකීමෙන් ඔහු එතෙක් සැහැල්ලුවෙන් සිටි ලොවින් වයිරස් සහිත පියැවි ලොවට ක්ෂණයෙන් පිවිසියේය.

රතු වාටියේ සුදු සේල පිළි හැද සිටි ලන්සි සමක් සහිත මිනිසා දෑතින් සිය මුහුණ වසා දොර පියන් අතර හිද සැගව සිටියි.
‘මේ මොකාද බොලේ මේ’ කියාගත් අමරබන්දු සිය නළලේ නැගි දාහය පොල්ල පිස දැමුවේ හදිසියකදී ඔලුව මුදුනට පතබෑමට ළගපාත වූ බැලන්ස් පොල්ලද සුරතට ගනිමිනි.

‘මු..මුන්නැහේ කවුද’ අමරබන්දු ඇසුවේ බීරාන්තවය.
මුහුණ ජම්බු ගෙඩියක් මෙන් රතුවී සිටි උස මහත ලන්සියා අමරබන්දුගේ පැනයට
පිලිතුරු බැන්දේ ලැජ්ජාවෙන් වටපිට බලමිනි
‘සැල්වි සිඤෝරෙ.. මම බෲටස්’
‘මොකා කිව්වා’
‘බෲටස්’ ඔහු නැවතත් කීය.
බෲටස් කීවෙ ට්‍රැක් තුනේ බේකරියෙ පිටි මෝලිය අනන බෲටස්ද? මොකෝ මලයො මේ ඇදුම්, දැන් ඔහේ ටීටරුත් නටනවැයි. සිදුවී තිබෙන විපරීතයෙන් හොදටෝම කැළඹුනු අමරබන්දු ඇසුවේය.
‘සිඤෝරෙ මේ මොනව කියනවද, මොන බේකරියක්ද. මම බෲටස් අර සීසර්ගෙ
මාලිගාවෙ …. සෙනෙට් එකේ හිටියේ… ඇයි අනේ සීසර්ට පිහියෙන් ඇන්නේ’ සැගව
සිටි මිනිසා කියාගෙන ගියේය.

එතකොට අන්තෝනියෝ නෙවෙයිද සීසර්ව මැරුවෙ? අර පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී නෝන කෙනෙක් මේ ළගදි බෙරිහන් දුන්නේ. අමරබන්දු ඇසුවේ කුතුහලයෙනි.

ඒකතමයි සිඤෝර් ප්‍රශ්නෙ. මමත් මේ ඔය කියන පාර්ලිමේන්තුව පැත්තට යන ගමන් ඕක කියපු සිඤෝරාව  හොයාගෙන. මට දැන් ඉන්න තැනක ඉන්නත් නැහැ, හැමෝම මගෙන් අහන්නේ ඔය ප්‍රශ්නෙමයි. හැමෝටම දැන් සැකයි සීසර්ට පිහියෙන් ඇන්නේ මේ බෲටස්මද කියලා.
ශතවර්ෂ ගාණක් ලෝක ජනතාව විශ්වාස කරගෙන ආපු ඒ ඉතිහාසය එක මොහොතකින් මේ යෝධි විනාශ කරල දැම්මනෙ.

‘අයියෝ..සන්තා මරීයා’ බෲටස් උත්තමයා අහස දෙසට දෑත් ඔසවමින් විලාප තියන්නට ගත්තේය.

ඕක ඔහෙට අඩන්න තරම් මහ දෙයක්යැ බෲටස් උන්නැහෙ, මේ පුංචි ලංකාව මෙච්චර බෙල්ලටම එරිලත් මේ අපි ඉන්නෙ රෝමය ගිණිගත්තත් සුපිරියට වීනාව වයාගෙන. අමරබන්දු සොවින් තැවෙමින් සිටින බෲටස් හට කීවේ ඔහුව සනසන අටියෙනි.

‘ලංකාව වගේ උනා නම් කොච්චර දෙයක්ද ඒකට රෝමෙ… මේ චූටි දේ මහපරුවතයක් තරම් කර ගන්නවනෙ. දැනටමත් මට මීම්ස් හැදිල ෆේස්බුක් එකේ, පාරක තොටක යන්න නැහැ.

අනික මම තවමත් කල්පනා කරන්නෙ ඔහෙලාගෙ රටේ පාර්ලිමේන්තුවෙ ඉන්න උදවියවත් ඉංග්‍රීසි සාහිත්‍ය පොතක්, වේදිකා නාට්ටියක් බලන කෙනෙක් නැද්ද කියල. අර උන්දැ තමුන්ගෙ බෙල්ලෙ පාළුවට තියෙන හිස් කබලෙන් ගොතල ජුලියස් සීසර් ගැන මෙච්චර කෙප්පයක් ඇදබාද්දිත් නැහැනෙ කිසිම කෙනෙක් ඒ කතාව නැගිටල නිවැරදි කළේ. දැන් සීසර්ව මැරුවෙ මම නෙවෙයි කියල ඔහේලාගෙ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එකෙත් වාර්තා උනානෙ. ‘හපොයි සන්තා මරීයා’. බෲටස් උත්තමයාගේ අඩෝවැඩියාව නවතින පාටක් නැත.එනයින් උන්දැගෙන් අමරබන්දුහටද ගැජවිජ්ජාවක් නොමැති හැඩය.

අනේ උන්නැහේ ඕක ඔච්චර ගණන් ගන්න එපා.. අපේ කට්ටිය පාර්ලිමේන්තුව ඇතුලෙ කියවන දේවල් රටේ මිනිස්සු වෙච්චි අපිවත් ගණන් ගන්නේ නැති කොට, ඕක මොකක්ද. බෲටස් උත්තමයාගේ අදෝනාව ඉවසා බැරිම තැන කිවේය.

‘මොකක්.. පාර්ලිමේන්තුව ඇතුලෙ කියන දේවල් රටේ මිනිස්සු ගණන් ගන්නෙ නැහැ.. මොන හරුපයක්ද සිඤෝර් ඒ. අන්දුන්කුන්දුන් වී ගිය බෲටස් උතුමන් පෙරළා ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුව කියන්නේ බිල්ඩිමක් විතරයිනේ උන්නැහේ, ඕක ඇතුලෙ ඉන්න උදවිල ඉදල හිටල ඇවිත් බික් බික් ගාල මොන මොනවදෝ දොඩනවා, සමහර වෙලාවට කුණු පරුසෙන් බැන ගන්නවා, තවත් වෙලාවකට මිරිස්කුඩු වලින් පවා
ගහ ගන්නව. ඒත් රටේ මිනිස්සු වෙච්චි අපිට නම් වැඩක් උනේ නැහැ, කොටින්ම මිනිස්සුන්ට වැඩකුත් නැහැ ඒ නසරානි කරන කියන දේවල්. ගමේ කොල්ලො නම් කියන්නෙ පාර්ලිමේන්තුව කියල එකක් නැහැලු, පාර්ලිමේන්තුව කියන්නෙ අපේම සෙලවෙන මනසටලු. අමරබන්දු කියවාගෙන යනවිට බෲටස් උතුමන්ගේ මුඛය විශ්මයෙන් කුල්ලක් තරම් පළලට ඇරී තිබිණි.

‘ඇයි රෝමෙ එහෙම නෙවෙයිද?’ බෲටස් උතුමන්ගේ විශ්මය දුටු අමරබන්දු විමසුවේය.
අමරබන්දුගේ ඇසූ දෙයින් මෙතුවක් හඩමින් විලාප තියමින් සිටි බෲටස් උත්තමයා හට සිනහ පහල විය.

ඔය කතා වලින් වැඩක් නැහැ සිඤොර් මට ඔහේලගෙ පාර්ලිමේන්තුවට යන පාර කියනවකො මේකෙ දෙකෙන් එකක් විසද ගන්න. බෲටස් උත්තමයා බැගෑපත්විය. එවන් උත්තමයෙක් මෙතරම් බැගෑපත් වෙද්දී අමරබන්දුගේ සිත
වෙඩරුපිඩක්මෙන් දියවී ගියේය.

‘අනේ මන්ද උන්නැහේ’ කියා වුවද අමරබන්දු සිය වඩු මඩුව වසා දමා දියවන්නාව දෙසට බෲටස් උත්තමයත් සමගින් ඇදෙන්නට විය.

දියවන්නාවේ පාර්ලිමේන්තු හන්දියේ කොණක නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයේ හිද දෙතොලේ ලිප්ස්ටික් තවරනා ගැහැණිය දුටු අමරබන්දුගේ හා බෲටස් උත්තමයාගේ වෙහෙසකර ගමන මදකට නතරවිය.
‘මේ සිඤෝර් අර ඉන්නෙ මම කියාපු යෝධි නේද?’ බෲටස් උත්තමයා දුරතියාම ජීප් රියේ හුන් ගැහැණිය හදුනාගත්තේය.

‘ඔහේ ඉන්න මම කතා කරල බලන්නම්’ කොයිකටත් කියා අමරබන්දු ඉස්සර විය.

‘නෝනා මේ අපි…’ අමරබන්දුහට කියන්න ලැබුනේ එපමණකි. ඇය හරිම කතා පෙට්ටියකි.
‘ආනේ අමරබන්දු අංකල් ඔයා කාලෙකින් දැක්කෙ.. මම මේ රටටම සල්ලි බෙදන්න යන්න කලින් පොඩි මේකප් එකක් දාගත්තා’ ඒ වනවිට අමරබන්දු පමණක් නොව බෲටස් උත්තමයාද උතුර දකුණ මාරු වී හුන්නහ.
‘අංකල් ඔයා ඇහුවද මගේ පාර්ලිමන්ට් එකේ ස්පීච් එක..’ බුරුසුවකින් මුහුනේ පාට
උලන ගමන් ඇය ඇසුවාය
‘මොන.. අර විස්සට අත උස්සල..’
ඔව් අනේ සුපර් හිට් නේද ඒක.. කට්ටිය හොල්මන්..ආ’ ඇය තුටින් ඉපිලෙයි.
‘ඔව්, නෝනෙ අත උස්සපු ගමන් මුලු රටම හොල්මන්, අපිට හිතා ගන්න බැරුව ගියා
ඒ මහත්තය දාල මේ මහත්තයගෙ පැත්තට පැන්නවත් දෝ කියල’ අමරබන්දු සිනහවෙන්ම පිළිතුරු දුන්නේය.
‘මම දැන් සෞභාග්‍යයේ දැක්මටනෙ අත හිත’

නෝනෙ එදා ඔබ තුමිය කිව්වෙ.. අර සීසර් මැරුවෙ අන්තෝනියෝ කියල .. ඒ කතාව වැරදියිලු නේද? අමරබන්දු මාතෘකාවට පැමිණියේය.

අනේ අංකල් මගේ වැඩේ කෙරුනට පස්සේ සීසර්ව අන්තෝනියෝ නෙවෙයි සූර පප්පා මැරුවත් මට මොකෝ.. ඔය පොඩ්ඩ වැරදුනැයි කියල මොකෝ රෝමෙ ගිණි ගන්නව කියල යැ, අපි හම්බ කොරොත් අපි කනවා ‘ ඇයගේ කතාවට බෲටස් උත්තමයාගේ කට හබස් ගා ඇරෙනු අමරබන්දුට ඇසුනි.

‘මේ සිඤෝර් මේ වැඩේ හරියන්නේ නැහැ අපි යං යන්න’ බෲටස් උත්තමයා හොදටෝම කලකිරී සිටියේය.
‘ඒකනෙ මම කිව්වෙ මේ අපි ආවෙ බොරු ගමනක් කියලා’ අමරබන්දු කීවේ තරහෙනි.
‘එහෙනම් අපි එන්නම් නෝනෙ’ කියා ඒ පාර්ලිමේන්තු නෝනාට සමුදී දෙදෙනා ආපසු හැරෙනේ හිස් අතින්ම ආපසු එන්නටය.

‘මිසිස් අමරබන්දුව මතක් කළා කියන්න අංකල්’ යැයි පාර්ලිමේන්තු නෝනාගේ කියුමට පිළිතුරු දුන්නේ අමරබන්දු නොව බෲටස් උත්තමයාය ‘එහේ ප්‍රින්සස් ඩයනත් ඉන්නව මම කියන්නං ඔයා එයාවත් මතක් කළා කියලා’ බෲටස් උත්තමයාගේ හඩේ ගැබ්ව තිබුනේ කේන්තියක්ද කලකිරීමක්ද යන්න හරියටම සොයා ගැනීමට ඒ මොහොතේ අමරබන්දු අපොහොසත් විය.

තිලංග ෆොන්සේකා