බයිඩන් සර් කමලා ගැන සිතයි

0
862

අමරබන්දුගේ හිස තවමත් රිදුම් දෙන්නේය. වෙළුම්පටි බැද තිබුණද වේදනාවේ නම් කිසිදු අඩුවක් පෙනෙන මානයකවත් නැත. තමන්ට රෝහලේ ඇදමතදී සිහිය එනවිටත් ගමේ තොටේ ආරංචිය පැතිර තිබුණේ ඔහු ඔහුට වෙන්න තියෙන සන්තෑසි සියල්ලක් වී ඇති බවය. කොටින්ම කලුගන්තොටින් ඔහුව රෝහලට රැගෙන ගොස් තිබුණේ හතරගාතයෙනි. ඔක්කොටම වඩා ඔහුහට ඉවසීමට අපහසු වී ඇත්තේ දැන් දැන් ඔහුට සිදුවූ දේ පිළිබදව සිය දොරකඩම ගමේ උන්දැලා කට ගාන නානා විද ඕපාදූපය. මුඛවාඩමක් දාගත් පවිත්‍ර දේවතාවියක් පාළම උඩ ඉදන් මතුරපු පැන් කලයක් ගං වතුරේ එබි එබි උන්නු අමරබන්දුගෙ ඔලුවට අතහැරියලු, ශුද්ධවූ පැන් වතුර අමරබන්දුගේ ඇගපුරාම ගළාගෙන යද්දි ඔහුට සිහිය නැතුව ගියාලු ඒ ඔක්කොම කරල ඒ දේවතාවිය පාලම උඩ හිටගත්වනම අහසට වැදගෙන උන්නලු. තවත් දසවිද කතාය. ඔහු රිදුම්දෙන ඔලුව් අතගාමින් තවමත් තමන්ට වෙච්ච සන්තෑසියේ අගමුල ගළපාගන්නට දස අතේ කල්පනා කරමින් සිටියේය.

‘තාත්තේ කෝල් එකක්’ යැයි කෑමොර දෙමින් පොඩි එකී සිය ජංගම දුරකතනය රැගෙන ඔහු සොයා ආ කලබලයට ඔහුගේ කල්පනා ලොව පමණක් නොව මැහුම් දමා තිබූ හිසද නැවතත් රිදුම් දෙන්නට ගත්තේය.

‘මොකද යකෝ කෑගහන්නේ’ අමරබන්දු දුරකතනය උදුරා ගත්තේ අමනාපයෙනි.

‘හලෝ… අමරබන්දු සුපුරුදු ස්වරයෙන් සිය දුරකථනය ඇමතුවේය.

‘මචං අමරෙ… මම බයිඩන්’ අනෙත් අන්තයෙන් ආ හඩ අමරබන්දු හට ඇසී පුරුදු එකක් වුවද එක්වර එය ග්‍රහනය කරගැනීමට ඔහු අසමත් විය.

‘බයිඩන්… කවුරු..’ අමරබන්දු උඩ බිම බලුවේය.

‘අයියෝ.. මම.. බයිඩන් අර අමෙරිකාවෙ…’ අනෙත් අන්තයෙන් අමතන්න පැවසුවේය.

‘අනේ මේ අපේ බයිඩන් සර්නේ.. මම හිතුවෙ බයිඩන් කිවුවහම අපේ රටේ දේශපාලන පක්ෂයකට දරදිය අදින එකෙක් කියලා’ අමරබන්දු යාප්පුවෙන් මෙන් පැවසීය.

‘අයි ඩිඩ් ඉට් අමරෙ අයි ඩිඩ් ඉට්.. අයි ගොන බී ද නෙක්ස්ට් ප්‍රසිඩන්ට් ඔෆ් යුනයිටඩ් ස්ටේට්ස් ඔෆ් අමෙරිකා’ බයිඩන් සර් ඉපිලෙමින් පවසද්දී අමරබදුද ඊට ඒ ස්වරයෙන්ම අත්වැල් ඇල්ලුවේය.

‘ඔව් ඔව් සර් අපිත් මෙහෙ ඉදන් බැලුවා සර්ලගෙ ඡන්ද ප්‍රතිථල, මගෙ උණුසුම් සුබපැතුම් බයිඩන් සර්.. මොන ගැටේ ගහල හරි ට්‍රම්ප්පච්චිව ගෙදර ඇරපු එක නම් මරේ මරු සර්’

‘අම්මේ … ඔයාට කියන්න අමරේ.. ට්‍රම්ප්කාරය පටන් ගත්තු දා ඉදල හිටියෙ වලිගෙ ගිනිගත්තු හනුම වගේනෙ.. දැන් නම් පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ.. කොටින්ම අමරෙ මටනම් වයිට් හවුස් එකට ගිහිල්ල පහුවදා මළත් කමක් නැහැ’ බයිඩන් සර් පැවසූයේ මහත් සැහැල්ලුවකිනි.

“ඒත් සර් අපේ රටේනම් උඩ පුටු රත් වෙලා ඉන්නේ සර් ජනධිපති වෙච්චි එක ගැන, ආපහු ඒ අයව හේගල් වලට අරන් යයි කියල යුද්ධෙගැන නඩු අහන්න’ අමරබන්දු තතනා කීවේය. නමුත් බයිඩන් සර් ඒ ප්‍රශ්නයට පිළිතුරු බැන්දේ තරමක් කල් මරාය.

‘මෙහෙමයි අමරෙ, මටනං ඔයගෙල්ලන්ගෙ රට අල්ලන්න ඔය කියන තරං හදිස්සියක් නැහැ, මොකද තෙල් නිධියක්වත් මතු වුණොත් හිතල බලන්න තිබ්බා. ඒත් අපේ කමල ළමයට මොනව හිතෙයිද නම් දන්නේ නැහැ’

‘අන්න ඒකමයි අපේ අය කියන්නෙත්.. ඔය අම්මණ්ඩිවලු විශ්වාසම නැත්තේ’ අමරබන්දු බයිඩන් සර්ගෙ කතාව මැදින් පැන්නේය.

‘හ්ම්.. මටත් එයාගෙ හිනාව එච්චර අල්ලන්නෙ නැහැ අමරෙ’ බයිඩන් සර් මහ හයියෙන් සිනහ වූයේය.

‘ඒක නෙවෙයි අමරෙ.. මේ ට්‍රම්ප්කාරයා අවුල් කරපු කෝවිඩ් වයිරසේ කොහොමහරි කොන්ට්‍රෝල් කරගන්න ඕනෙ, පොඩ්ඩක් කියනවකො ඔහෙලගෙ කට්ටිය මොනවද කළේ මෙච්චර හොදට වයිරසේ කොන්ට්‍රෝල් කරන්න’ බයිඩන් සර්ගෙ කතාවට අමරබන්දු අන්දුන් කුන්දුන් විය.

‘මොන’ ඔහු ඇසුවේය.

‘අපේ කට්ටිය මෙහෙ කසු කුසු ගානවා අමරෙලගෙ රටේ කට්ටිය හොදට වයිරසේ කොන්ට්‍රෝල් කළා, ජාත්‍යන්තර රේටින්ග්ස් වල පවා කප් ගැව කියලා.. මේකනෙ මචං ඔයාලගෙ ලොක්කගෙන් රෙද්දක් ඇදන් කෙළින්ම ඕක අහන්න බැහැනෙ, අමරෙට තෙරෙනවනෙ ඉතින්’ බයිඩන් සර්ගෙ කට හඩ තරමක් බයාදුය.

‘මුල් වටයෙදි සෞඛ්‍යය අමාත්‍යංශෙයි හමුදාවයි ආණ්ඩුවයි එකතුවෙලා විද්‍යාත්මක විදිහට වැඩේ කොන්ට්‍රෝල් කරගත්තට ආයෙත් වයිරසේ පැතිරෙන නිසා මේඅය වෙන විදිහකට වැඩේ ගොඩගන්නයි හදන්නේ’ අමරබන්දු කීවේය.

‘ඒ කොහොමද අමරෙ ඒ’ බයිඩන් සර් එවිට ඇසුවේ කුතුහලයෙනි.

‘බොහොම සරලයි සර්, ඒ ගොල්ලො දැන් මතුරපු පැන් මුට්ටි පාළමෙන් ගගට දාල සෞඛ්‍යය නෝනාව මුහුදට බිළි දෙන්නයි හදන්නෙ’ අමරබන්දු කියාගෙන ගියේය. මොහොතක් නිහඩව සිටි බයිඩන් සර් නැවතත් සිය හඩ අවදි කළේය.

‘අඩේ ඒක මරු වැඩේ, මුට්ටි ගගට දැමීම කෙසේ වෙතත් මුහුදට බිල්ලක් දෙන වැඩේ නම් මරු.. අමරෙ මොකද හිතන්නෙ අපි අපේ කමලව මුහුදෙ පා කරල ඇරියොත්’ බයිඩන් සර් අමරබන්දුගෙන් උපදෙසක් අපේක්ෂාවෙන් පසුවූයේය.

‘මොනව අහනවද සර්, කමල නෝනව මුහුදෙ පා කළොත් අපේ ප්‍රශ්නෙත් ඉවරයි සර්ගෙ ප්‍රශ්නෙත් ඉවරයි’ අමරබන්දු හට කතාව නිම කරන්නට වූයේ නැත.

‘එක්සලන්ට් අමරෙ එක්සලන්ට්’ බයිඩන් සර් ක්ෂ්ණයෙන් දුරකථනය විසන්ධි කළේය.

 

තිලංග ෆොන්සේකා.